වෙළඳ සැලක කළමණාකාරවරයෙකු පැහැර ගෙන ගොස් පාළු නිවසක රඳවාගෙන ලිංගික අතවර කර තිබෙනවා.
ඔහු සතුව තිබූ රුපියල් 1,18,500 ක් වටිනා මුදල් සහ දේපළ කොල්ලකා තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
වත්තේගම නගරයේ සුපිරි වෙළඳ සැළක කළමණාකාරවරයෙකු පැහැර ගෙන ගොස් මෙසේ පාළු නිවසක රඳවාගෙන ලිංගික අතවර කර ඔහු සතු මුදල් සහ දේපළ කොල්ල කෑ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි කටුගස්තොට පොලීසිය පවසන්නේ.
සුපිරි වෙළඳසැල් කළමණාකරු පන්විල ප්රදේශයේ පදිංචි කරුවෙක්.
ඔහු පසුගිය (23) සවස කටුගස්තොට රණවණ මාර්ගයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් තිබුණා.
මෙලෙස පැහැර ගත් කළමණාකාරවරයා පාළු නිවසක රඳවා ගෙන ලිංගික අතවර කරමින් තර්ජනය ඇති බවයි පොලිස් පැමිණිල්ලේ සඳහන් වන්නේ.
මෙහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථන දෙකක්, අත් ඔරලෝසුවක්, රිදී මුද්දක් ඇතුළු රුපියල් 1,18,500ක් වටිනා මුදල් සහ දේපළ කොල්ලකා තිබුණා.
පැහැර ගත් පිරිස විසින් එදිනම ඔහු ගෙනවිත් අතර මඟ දමා ගොස් ඇති අතර, ඔහු පොලීසියට පැමිණිලි කිරිම ප්රමාද කර ඇත්තේ පැහැර ගත් අය තර්ජනය කළ නිසා බවයි පොලීසිය පවසන්නේ.
පැහැර ගත් බව කියන සැකකරුවන් සමග සැක කරන වෑන් රථය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස (28) මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කළ බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ.