මලකට වඩා එක ඉත්තක එකට පිපුණු මල් පොකුරක් වඩාත් සුන්දරය. තනි මනාලියකට වඩා මනාලියන් කිහිප දෙනකු එක් වූ විට ඇත්තේ ද අපූරු චමත්කාරයකි.
මල් මෙන් සුන්දර යුවතියන් තිදෙනකු කඩවසම් මනාලයන් තිදෙනකු සමඟ මවුපිය නෑ හිතමිතුරන් පිරිවරාගෙන හෙළ කුල සිරිතට මංගල ගමනට පිවිසි මොහොතක් කොතරම් චමත්කාර විය හැකිද? එවැනි අසිරිමත් මොහොතක් කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවෙසකදී ඉකුත් මැයි මස 10 වැනිදා උදා විය.
ඒ අසිරියට හේතුව එකම මංගල නැකතකට යුවළ තුනක් විවාහ වීම නිසාම පමණක් නොවේ. මනාලියන් තිදෙනා එකම පවුලේ තුන් නිවුන් සහෝදරියන් වීම නිසාය. මීට වසර 23කට පෙර එකම මොහොතක ජීවිත ගමන ඇරඹූ ඔවුහු තිදෙනා එකම නැකැතකදී සිය මනාලයන් සමඟ පෝරු මස්තක වී යුග දිවි ගමනට පිවිසි ඒ සුවිශේෂී අවස්ථාව මේ වන විට මෙරට සමාජ මාධ්‍ය හා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ බොහෝ දෙෙනකුගේ කතාබහට ලක්වූ පුවතක් බවට පත්වී අවසන්ය.
මේ සුන්දර කතා පුවතේ වීරයා ඒ අපූරු සිදුවීමට විවරණ තැනූ ආඩම්බරකාර තාත්තා කෙනෙකි. ඔහු නමින් සුජිත් නිශාන්ත (51) ය. කතරගම දෙටගමුව ප්‍රදේශයේ ගොවි පවුලකට අයත් ඔහු ගොවිතැනින් සහ තවත් සුළු සුළු කර්මාන්ත කිහිපයකින් ජීවිකාව සරිකර ගනිමින් සිය පවුල රකින දිරිමත් පියෙකි. ගමේ විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු ලෙස ස්වාමින්වහන්සේලා සමඟ ද සමීපව කටයුතු කරමින් ධාර්මිකව සිය ජීවිතය ගොඩනඟා ගත් අයෙකි.
සුජිත් නිශාන්තගේ ආදරණීය බිරිය පී. එම්.කේ. ඉන්ද්‍රානි (45) ය. ආදරයෙන් සතුටින් තනාගත් ඔවුන්ගේ කැඳැල්ලට මුලින්ම එක් වන්නේ තුන් නිවුන් දියණියන්ය. ඒ, 2001 ඔක්තෝබර් 18 වැනිදාය. එදින උදෑසන 9. 57ට, 9.58ට සහ 9.59 ලෙස විනාඩියක පරතරයක් ඇතිව උපන් දියණියෝ තිදෙනා පිළිවෙළින් දිලුමි වින්ධ්‍යා, ගොයුමි තිසාරා සහ ගිත්මි හංසා ලෙස නම් ලැබූහ. කතරගම ජනාධිපති විද්‍යාලයෙන් අ. පො. සාමාන්‍ය පෙළ දක්වා උගත් දියණියන් තිදෙනා රුවින් සහ ගුණ දහමින් වැඩෙද්දී පියා සුජිත්ගේ හදවතේ ඔවුන් පිළිබඳ සුන්දර සිහිනයක් ඉපදී තිබිණි.
“සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ දුවල තුන්දෙනා ඉගෙනුම අවසන් කළා. ඊට පස්සේ එයාලා ගෙදරමයි හිටියෙ. එයාලව රැකියාවකටවත් යවන්න මම කැමැති වුණේ නැහැ. අද සමාජයේ ඇහෙන දකින විවිධ විෂම ක්‍රියා එක්ක මම මගේ දුවලාගේ ආරක්ෂාව ගැනයි ගොඩක්ම සැලකිලිමත් වුණේ. එකටම ඉපදිලා එකටම හැදුණු වැඩුණු ඒ තුන් දෙනාව කවදහරි එකටම විවාහ කරලා දෙනවා කියලා අදහසක් මගේ හිතේ තිබුණා. එයාලා තුන්දෙනාටම ආදර සම්බන්ධතා තිබුණේ නැහැ. ඒ වගේම මම එයාලව පරෙස්සම් කරන විදිහ ගැන දන්න කිසිම තරුණයෙක් මගේ දුවලා එක්ක යාළු වෙන්න ආවෙත් නැහැ. දුවලත් මගේ කීමකට පිටින් යන්නෙ නැහැ කියලා මගෙ හිතෙත් ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා එයාලා තුන්දෙනාට ගැළපෙන හොඳ මනමාලයෝ තුන් දෙනෙක් හොයලා එකම දවසෙ එයාලව විවාහ කරලා දෙනවා කියන අදහසින් මීට අවුරුද්දකට කලින් විතර ඉඳලා මමත් දුවලගේ අම්මත් එයාලට මනමාලයෝ හොයන්න පටන් ගත්තා.” එය එක්තරා අයුරකින් සුන්දර මෙහෙයුමක් වැනිය.
තම දියණියන් විවාහ කර දීමට සුදුසු මනාලයන් තිදෙනකු සෙවීමේ ඒ මෙහෙයුමේදී සුජිත් මුල් තැන දුන්නේ දියණියන්ගේ ඡන්ම පත්‍රයට ගැළපෙන, බෞද්ධාගමට සහ හෙළ සිරිත්විරිත්වලට ගරු කරන, ඒ අනුව ජීවිත ගත කරන විශේෂයෙන් මත්පැනින් සහ දුම්පානයෙන් තොර සුචරිතවත් පුතුන් තිදෙනකු සොයා ගැනීමටය.
“දුවලට ආව යෝජනාවලින් මුලින්ම අපිට ගැළපෙන විදිහේ යෝජනාවක් හරි ගියේ පොඩ්ඩිට. ඒ රැකව ප්‍රදේශයේ ෂෙහාන් පුතා. මද්දුට ලුණුගම්වෙහෙරේ කසුන් පුතාව තෝරගත්තේ මගේ යාළුවෙක් ගෙනාපු යෝජනාවක් මාර්ගයෙන්. අන්තිමටම තමයි ලොකූට ගැළපෙන යෝජනාවකින් වීරකැටියෙ හර්ෂ පුතාව මුණ ගැහුණේ. අවුරුද්දක් ඇතුළත තුන් දෙනාටම ගැළපෙන මනමාලයො හොයාගත්තට පස්සේ මම එයාලා ගැන වැඩිදුර තොරතුරු හොයලා ගෙවල් දොරවල් බලලා දුවලට එයාලගෙ මනමාලයො එක්ක කතාබහ කරලා දැනඅඳුනගන්න අවස්ථාව දුන්නා. ඊටපස්සේ තමයි විවාහයට දින නියම කරගත්තේ. එකම දවසේ තුන්දෙනාගේ විවාහ උත්සවය ගන්න මම කරපු යෝජනාවට ඒ පුතාලා තුන්දෙනත් එයාලගෙ මවුපියනුත් කැමති වුණා. වෙඩින් එක සම්පූර්ණයෙන්ම සැලසුම් කළේ මම. හැමෝම මට උදව් කළා.” සුජිත්ගේ හඬෙහි මුසු වී තිබුණේ අහිංසක ආඩම්බරයකි. ඒ ගැන තවත් විස්තර ඔහු අප සමඟ පැවසුවේය.
“අපේ පවුලේ මගේ අක්කල නංගිලාගේ පවා මංගල උත්සව ගත්තේ ගෙදරමයි. ඒක තමයි අපේ පවුලේ සම්ප්රදාය. මටත් ඕනෑ වුණේ මගේ දුවලාගේ විවාහ උත්සවය මගේ ගෙදරදීම ගන්නයි. විවාහ රෙජිස්ට්රාර්තුමිය ගෙදරටම ගෙන්වලා විවාහය ලියාපදිංචි කරලා තුන්දෙනාටම ගැළපෙන එක නැකතක් තෝරගෙන ඒ නැකතට දුවලා තුන්දෙනාගෙම පෝරුවෙ චාරිත්‍ර ඉෂ්ට කළා. දුවලගේ මංගල චාරිත්‍ර ඉෂ්ට වුණේ ගරුතර සංඝරත්නගේ සෙත්පිරිත් සජ්ඣායනා සහ ආගමික අනුශාසනා මැදයි. මම ගමේ විහාරස්ථානය හා ගරුතර සංඝරත්නය සමඟ බොහෝ සමීපව කටයුතු කරන කෙනෙක් නිසා මගේ දරුවන්ගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවත් ආගමික කටයුතුවලට මුල් තැන දීලා සිදු කරන්න මගෙ හිතේ ලොකු ආශාවක් තිබුණා. ඒ අනුව කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම ශ්‍රී සරණතිස්ස ස්වාමීන් වහන්සේ සහ කතරගම පබ්බතාරාම පිරිවෙන් විහාරාධිපති නවගමුවේ මෛත්‍රී නාහිමිපාණන් වැඩම කළා. ”
තුන් නිවුන් තරුණියන්ගේ පියා සුජිත් සහ මව ඉන්ද්‍රානි එම අවස්ථාව විවාහ දිවියට පත් තරුණියන් තිදෙනාට සහ තරුණයන් තිදෙනාට පමණක් නොව එම මංගල උත්සවයට එක්ව සිටි සියලු දෙනාට ආශීර්වාදාත්මක අවස්ථාවක් විය. එහිදී ආගමික වතාවත් ඉටු කළ කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියෝ අනුශාසනාවක් කරමින් පැවසුවේ එය උන්වහන්සේගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් වූ බවයි.
“මාගේ ජීවිත කාලයේදී නිවුන් දැරියන් තිදෙනකු එකවර එකම නැකතකින් විවාහ දිවියට පිවිසීම දැකගත් පළමු අවස්ථාව මෙයයි. දරුවකු ඇති දැඩි කොට අධ්‍යාපනය මෙන්ම ගුණ ධර්ම ප්‍රගුණ කර මවුපියන්ගෙන් සමුගන්නා අවස්ථාවේදී මහසඟරුවන වැඩම කොට දියණියන් තිදෙනාට සහ සහකරුවන් තිදෙනාට මහ සඟරුවනේ අවවාද අනුශාසනා ලබා දීම ජන සමාජයටම ලබා දෙන කදිම ආදර්ශයක්. “යනුවෙන් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
එසේ විවාහ දිවියට පත් තුන් නිවුන් සහෝදරියන්ගෙන් වැඩිමහල් දියණිය දිලුමි වින්ධ්‍යාගේ අත ගත් එන්. ඒ. හර්ෂ මධුසංඛ වීරකැටියේ පදිංචි තරුණයෙකි. ඔහු සේවය කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේය. දෙවැනි දියණිය ගොයුමි තිසාරා විවාහ වූයේ ලුණුගම්වෙහෙර පදිංචි ඩබ් .ඒ. කසුන් මධුසංඛ සමඟය. ඔහු දහම් පාසල් ගුරුවරයකු සහ උපකාරක පන්ති ගුරුවරයෙකි. බාල දියණිය ගිත්මි හංසාගේ අත ගත් ෂෙහාන් රෂ්මික වෘත්තියෙන් සූපවේදියෙකි.
සුජිත් – ඉන්ද්‍රානි යුවළට මෙම තුන් නිවුන් දියණියන්ට අමතරව තවත් බාල දියණියක වේ. ඇය තවමත් 6 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. ඉකුත් මැයි 10 වැනිදා මෙම තුන් නිවුන් දියණියන්ගේ විවාහ උත්සවය පැවති අතර ඉන්පසු මනාලයන් තිදෙනාගේ නිවෙස්වලදී දෙවැනි ගමනේ උත්සව පැවැත්විණි. 11 වැනිදා බාල දියණිගේ දෙවැනි ගමනේ උත්සවය රැකවදීත් දෙවැනි දියණියගේ දෙවැනි ගමනේ උත්සවය 13 වැනිදා ලුණුගම්වෙහෙරේදී සහ ඉකුත් 15 වැනිදා වැඩිමහල් දියණියගේ දෙවැනි ගමනේ උත්සවය වීරකැටියේදීත් පැවැත්වුණු බව පැවසූ සුජිත් ගෙවී ගිය සතිය ඔවුන්ගේ පවුලට ඉතා කාර්ය බහුල මෙන්ම සතුට හා දුක ද පිරුණු කාලයක් වූ බව ද කීවේය. සතුටට කාරණය නම් දියණියන්ගේ විවාහ මඟුල තමා සිතූ අයුරින්ම අලංකාරව පැවත්වීමට හැකි වීමය.
“දුවලා තුන් දෙනාටම එකම විදිහට හැමදේම ලෑස්ති කළා. කිසිම දේකින් අඩුවක් කළේ නැහැ. මම තුන්දෙනාටම දෑවැද්ද ටික ටික ලෑස්ති කළා. අන්තිමට සේරම අඩුපාඩුවක් නැතිව කරගත්තා. දුවලා පුංචි කාලේ දී හදා වඩාගන්න අපි ගොඩක් දුක් වින්දා. මමයි නෝනයි විවාහ වෙලා නෝනට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම එයාගේ කුස ගොඩක් ලොකුවට තිබුණු නිසා මම ටිකක් බය වුණා. පස්සේ එයාව හම්බන්තොට වී.ඕ.ජී ඩොක්ටර් කෙනකුට පෙන්නුවා. ඒ කාලේ ස්කෑන් එකට ගියේ රුපියල් තුන්සිය පනහක් වගේ ගානක්. ඒ ඩොක්ටර් කිව්වා බබාලා තුන්දෙනෙක් ඉන්නවා, ඒ හින්දා ගොඩක් පරිස්සමින් බලාගන්න කියලා. ඒ හින්දා මම හොස්පිට්ල් එක ළඟින් ගෙයක් කුලියට අරන් මාස තුනක් නෝනා එක්ක එහෙ නතර වෙලා දවස ගානේ නෝනව ඩොක්ටර්ට පෙන්නුවා.
ඒ විදිහට ගොඩක් දුක් විඳගෙන බොහොම පරිස්සමින් නෝනව බලාගෙන තමයි මේ දරුවො තුන්දෙනාව හදා ගත්තෙ. ඒ වගේම ඉපදුණාට පස්සෙත් චූටි කාලෙදීම ලොකු දුවට නිව්මෝනියාව හැදිලා ගොඩක් අමාරු වුණා. දුව එක්ක නෝනා හම්බන්තොට රෝහලේ නතර වුණාම මමයි මගෙ අම්මයි ඒ රෝහල ඉදිරිපිට ගෙදරක නතර වෙලා අනිත් දුවලා දෙන්නව බලාගත්තා. ඒ කාලේ ලැක්ටෝජන් කිරිපිටි ටින් එකක් රුපියල් තුන්සිය ගානක්. තුන්දෙනාට එක ටින් එකක් දෙන්න පුළුවන් දවස් දෙකයි. ඒ වගේ ගොඩක් අමාරු කාලයක් ගෙවලා තමයි අවුරුදු 23ක් මේ දරුවෝ හදාවඩා ගත්තෙ. මේ තුන්දෙනාව ඉස්කෝලෙ එක්ක ගියේ ආවේ ත්‍රීවීල් එකෙන් මමමයි. මට යන්න බැරි වුණු දවසට ඒක කළේ මගේ අයියා. අදටත් මගෙ චූටි දුවව ඉස්කෝලෙ එක්ක යන්නෙ මමයි. මට යන්න බැරි වුණොත් අයියව යවනවා. දුක් විඳලා හදපු දරුවො ගුණ යහපත් විදිහට හැදුණ එක මටයි දුවලගෙ අම්මටයි ලොකු සතුටක්. එයාලා ගොඩක් කීකරුව විනයක් ඇතිව හැදුණා.” සුජිත් නිශාන්ත පැවසුවේ පියකු ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කිරීමට ලැබීම ගැන හද පුරා තුටු වෙමිනි. ඔහුගේ බිරිය ද පැවසුවේ තුන් නිවුන් දියණිවරුන්ගේ විවාහ උත්සවය මෙතරම් අලංකාරව පැවැත් වීමේ සම්පූර්ණ ගෞරවය සිය සැමියාට හිමි විය යුතු බවය.
“එයා පුදුමාකාර ආදරණීය තාත්තා කෙනෙක්. මේ හැමදේම එයාගේ මහන්සිය, කැපවීම නිසයි. තුන් නිවුන් දරුවො ඉපදෙන්න ඉන්නවා කියල දැනගත්තම මට ටිකක් බය හිතුණා. ඒ කාලේ අද වගේ පහසුකම් නැහැනෙ. ඒත් දුවලගේ තාත්තා දරුවො ඉපදෙන්න ඉන්න කාලේ වගේම ඉපදුණාට පස්සෙත් විවාහ කරල දෙනකම්ම එයාලගෙ හැමදේම හොයලා බලලා කළා. මට ඒ බර දුන්නෙ නැහැ. දුවලා චූටි කාලේ නම් හරිම දඟයි. ඒත් ලොකු වෙද්දි එයාල කීකරුව හැදුනා. එයාලගේ ජීවිතේ මුල් තැන හිටියෙ තාත්තා. අවුරුදු 23ක් අපි එක්කම හිටපු දුවලා තුන්දෙනා අද තුන් තැනක. එයාලව විවාහ කර දීම සතුටක් වුණත් අද එයාලා නැතිව මේ ගෙදරම පාළු වෙලා.” තුන් නිවුන් දියණියන්ගේ මව පැවසුවේ මවු සෙනෙහසින් සංවේදී වූ හැඬුම්බර විලාසයෙනි.
පියාගෙත් මවගේත් ‘ලොකූ’, ‘මද්දු’ සහ ‘පොඩී’ අද එකිනෙකාගෙන් වෙන්වී ඔවුන්ගේම ලෝකයක කිරුළු දරන පතිනියන්ය. ඒ අපූර්ව අත්දැකීම ගැන බාල දියණිය ගිත්මි මෙසේ කීවාය. ඇයට විනාඩි දෙකකින් පමණක් වැඩිමහල් වූ සහෝදරියන් දෙදෙනා කීවේ ඔවුන්ටද එකිනෙකාගෙන් වෙන්වීම දැඩි වේදනාවක් බවය.
මේ සුන්දර යුවතියන් තිදෙනා විවාහ කරගත් මනාලයන් කීවේ එය ඔවුන්ට ද ඉතා සුන්දර අත්දැකීමක් වූ බවය. ඒ අතරින් වැඩිමහල් දියණියගේ සැමියා වීරකැටියේ හර්ෂ මධුසංඛ ඒ අත්දැකීම ගැන මෙසේ කීවේය.
“මෙච්චර ලස්සනට විවාහ උත්සවය කෙරුණේ නංගිලාගේ තාත්තා නිසයි. තාත්තගේ බලාපොරොත්තුවක් තමයි මේ ඉෂ්ට වුණේ. අපි තුන්දෙනා වෙනුවෙන් අලංකාර මංගල පෝරු 3ක් ඉදි කළා. නමුත් චාරිත්‍ර කළේ එකම නැකතට එකම වෙලාවේ. ෆොටෝ ගන්න කැමරාමන්ලා 7ක් විතර හිටියා. අපි කණ්ඩායම ලොකු නිසා දෙවැනි මනමාලයො මනමාලියෝ ගත්තෙ නැහැ. ඒ වගේම කතරගම නායක ස්වාමින්වහන්සේලා දෙනමක් අපේ විවාහයට ආශීර්වාද කළා. ඒකත් ගොඩක් වටිනවා. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් අපේ විවාහයට ලොකු ප්‍රචාරයකුත් ලැබුණා. පළමු දවසේ උත්සවය මනමාලියන්ගේ ගෙදර තියලා දෙවැනි ගමනෙ උත්සව දවස් 3කට යොදා ගත්තා.
ඒ සේරටම වැඩිය මට වටින්නේ ඉතා හොඳ තරුණියක් මගෙ බිරිය විදිහට ලැබීමයි. ඒ ගැන ඇයගේ මවුපියන්ට, විශේෂයෙන්ම තාත්තට ස්තුතිවන්ත විය යුතුයි. තාත්තා මේ දුවලා තුන්දෙනාව හොඳට හදලා තියෙනවා. එයාලා තුන්දෙනාම අහිංසක නිස්කලංක ගෑනු ළමයි තුන් දෙනෙක්. කොයි වෙලෙත් හිනාවෙලා ඉන්නවා මිසක් වැඩි කතාබහක් නැහැ. මම හිතන්නේ අද කාලේ සමාජයේ ගෑනු දරුවන්ට මුහුණ දෙන්න වෙන දේවල් නිසාම නංගිලාගේ තාත්තා එයාලව ගොඩක් පරිස්සමින් විනයක් ඇතිව හදලා තියෙනවා. එවැනි තරුණියක් විවාහ කරගන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.” ඔහු පැවසුවේ සතුටිනි.
යහපත් දියණිවරු තිදෙනකු සමාජයට දායාද කිරීමේ සතුටත් අභිමානයත් හදවතේ රුවාගත් ඔවුන්ගේ මවුපියන් පැවසුවේ එය ඔවුන්ට ද නිරාමිස සතුටක් බවය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්