චීනයේ ප්‍රසිද්ධ අපේ රටේ මල් කොල්ලෙක් ගැන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වෙමින් පවතිනවා.
ස්වෝත්සාහයෙන් සිය ජීවන ගමන ගෙනයන මේ ශ්‍රී ලාංකික තරුණයාගේ වීඩියෝව නැරඹුම් වාර කෝටි 13ක් ඉක්මවා තිබීම විශේෂත්වයක්.
චීනයේ සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් සංසරණය වූ අතේ මල් පොකුරක් තබාගෙන සංචාරකයන්ට පෙන්වමින් පාර දෙපසට සිනහාමුසුව කුලුපගව දිව යන මේ තරුණයා කොත්මලේ ප්‍රදේශයේ ජීවත් වන දිලිප් මධුශංකයි.
මේ තරුණයා සිය පවුලම ගොඩ දැමීමට මෙලෙස මල් අලෙවි කරමින් අව්‍යාජ සිනහවෙන් යුතුව කෘතවේදීව සංචාරකයන් සමඟ කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස ජනප්‍රියත්වයට පත්ව තිබේ.
මොහු කැලේට ගොස් මල් කඩා ගෙනැවිත් එයින් පොකුරු සාදා සංචාරකයන්ට අලෙවි කරයි. මෙය ඉතා සුළු දෙයක් බව හැඟුණත් ඔහු දරන උත්සාහය ඉතාම කර්කශය.
මෙලෙස සාදා ගත් මල් පොකුර විදේශිකයන් පසුපස දිවගොස් විකුණයි. දිලීප් කිලෝ මීටර් 4ක් 5ක් පමණ මෙලෙස විදේශිකයන් ගමන් ගන්නා වාහන පසුපස ලුහුබඳියි. එය දකින විදේශිකයන් වාහන නවතා මොහුගෙන් මල් මිලදී ගනී.
දිලිප් අවුරුදු 17ක නව යොවුන් වියේ පසුවන තරුණයෙකි. මේ වන විට ඔහු චීනයේ කොතරම් ජනප්‍රිය ද කිවහොත් චීනයේ කුඩා දරුවන් පවා ඔහු මල් විකුණන ආකාරය චිත්‍රයට නඟා තිබේ.
“එයා හරි කෙට්ටුයි. ඒත් ජීවිතයට ආදරය කර ගොඩක් වෙහෙස මහන්සිවී වැඩ කරන ඔහු ඇත්තටම කඩවසම්. ඇත්තටම ලංකාවට ගියොත් මමයි මගේ යහළුවයි එයාගේ මල්වලට කැමැති වේවි. එයාව හඳුනාගන්න ආසයි.” යනුවෙන් ඔහුගේ වීඩියෝවට චීනයේ තරුණියක් අදහසක් එක් කර තිබේ.
එතරම්ම ඔහු ජන හදවත්වලට සමීපවී ඇති අතර, එයින් මෙරටට සංචාරක ආකර්ෂණය ගෙන ඒමට ද සමත්ව තිබීම අගය කළ යුත්තකි.