ජනතාව මුලාවට පත්කරමින් මිනිස් පාරිභෝජනයට නුසුදුසු දොඩම් අලෙවි කරන පිටකොටුවේ ජාවාරම් මීට පෙර අවස්ථා කීපයකදීම මාධ්‍ය හමුවේ අනාවරණය වුණා.
නමුත් පාරිභෝගිකයින් ගසාකන එවන් කූට ව්‍යාපාරවලට තිත තැබුණේ නැහැ .
පිටකොටුවේ කරත්තවල ජනතාවට පෙනෙන කොටසේ රුපියල් 300ට ගෙඩි 10 ක් ලබා දෙන බව පවසා හොඳ තත්ත්වයේ දොඩම් ප්‍රදර්ශනය කර තිබෙනවා.
එහෙත් මෙම කරත්තයේම පහල තට්ටුවේ ගබඩා කොට ඇත්තේ තැලී,පොඩිවී ඇති මිනිස් පාරිභෝජනයට නුසුදුසු දොඩම් තොග බව පාරිභෝගික ජනතාව නොදන්නා කරුණක්.
මෙම කූට වෙළදුන් සිදුකරන්නේ කරත්තයේ යට තට්ටුවේ ඇති නරක්වීමට ආසන්න තත්ත්වයේ පවතින දොඩම් ගෙඩි 10 බැගින් මෙලෙස පාර්සල් සකසා හොද තත්වයේ පවතින දොඩම් ගොඩ ආසන්නයේ තබා ගැනීමයි.
ඔවුන් එලෙස සිදු කරන්නේ කිසිවෙකුටත් සැක නොසිතෙන පරිද්දෙන් හොර රහසේයි.
නරක් වු දොඩම් සහිත පාර්සලය නොපෙනෙන ආකාරයට තබාගැනීම සඳහා ඊට උඩින් කළු පැහැති ෂොපින් බෑග් මළු දමා ගැනීම සිදුකරන බවයි වාර්තා වෙන්නේ.
සාමාන්‍ය ජනතාව දොඩම් මිලදී ගැනීමට පැමිණෙන අවස්ථාවල මෙම වෙළදුන් සිදුකරන්නේ කරත්තවල උඩ තට්ටුවේ ප්‍රදර්ශනයට තබා ඇති හොඳ තත්ත්වයේ දොඩම් මෙලෙස කවරවලට දැමීමයි.
කවරවලට දැමු පසු එය එල්ලාගෙන යාම සදහා කලු පැහැති සිලි මළුවල ලබාදීමේදී මෙම වංචනිකයන් හොද දොඩම් සහිත කවරය පසෙක තබා කලින් සකස් කර තබා ඇති නරක් වු දොඩම් අඩංගු පාර්සලය සුක්ෂමව මාරු කරමින් මෙම ජාවාරම සිදුකරනවා.
මෙම දොඩම් ජාවාරමට රැවටුනු පුද්ගලයෙකු පිටකොටුව බෝධිය අසල ඇති පොලිස් මුර කුටියට පැමිණ තමාට සිදු වු වංචාව මාධ්‍ය වෙත හෙළි කර ඇත.