සිංහල අලුත් අවුරුදු සමය කියන්නේ බොහෝ දෙනෙක් මග බලාගෙන ඉන්න කාලයක්.. කැවිලි පෙවිලි වගේම විශේෂ වූ කෑම ජාතිවලටත් මේ කාලය තුළ තියෙන්නේ පුදුම ඉල්ලුමක්..
මේ කාලය වෙනුවෙන් හැදෙන සමහරක් විශේෂ කෑම ජාතියේ මේ තරම් ගුණදායකයි කියල ඔබ දැනගෙන හිටියද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
අපේ අවුරුදු මේසයේ ප්‍රධාන ආහාරය බවට නිරායාසයෙන් ම පත්වෙන්නේ කිරිබත්. ඇඟ සිසිල් කරන, ශක්තිය උපරිමව ශරීරයට ලැබෙන, ලොකු කුඩා කාට කාටත් අගුණයක් නැති කෑමක් තමයි කිරිබත් කියන්නෙ. සුදු හාල් කිරිබත් වෙනුවට රතු කැකුළෙන් හදන කිරිබත් දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන කෙනකුට වඩා සුදුසුයි. ඒත් මොන ම වට්ටෝරුවක වුණත් අන්තර්ගතයේ අනවශ්‍ය යමක් වේ නම් ඒ වෙනුවට නිවැරැදි යෙදවීම කරන්න මතක තියාගන්න. පාන් පිටි වෙනුවට කැවුම් ඇතුළු රසකැවිලි හදද්දි අනිවාර්යයෙන් හාල් පිටි ගන්න. ඔබ මේද වෘද්ධි (කොලෙස්ටරෝල්) හෝ දියවැඩියා රෝගවලින් නොපෙළෙන්නේ නම් සුදු හාල් පිටි ගත්තත් කමක් නෑ. එම රෝගවලින් පෙළෙන අයෙක් නම් රතු කැකුළු හාල් පිටිකර කැවිලි සඳහා භාවිත කරන්න.
මේ හාල් පිටි කරගැනීම ගෙදර දී ම කරගන්න පුළුවන් නම් එහි ගුණාත්මක භාවය ගැන සහතිකයක් ලබාගන්න ඔබට ම පුළුවන්. නැතිනම් විශ්වාසවන්ත ව්‍යාපාරිකයෙකුගෙන් මිලදී ගන්න. හාල්පිටි කියන්නේ සිංහල අවුරුදු කැවිලි සඳහා යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයි. නාඩු සහල්වලට සාපේක්ෂව ඉක්මන් දිරවීමක්, කැවිලි සඳහා යොදාගන්නා කැකුළු හාල් පිටිවල තිබුණ ද ඒවා පාන්පිටි තරම් ඉක්මනින් ශරීරයට උරා ගන්නේ නෑ. මේ නිසා ශරීරයේ රුධිරගත සීනි මට්ටම ක්ෂණිකව ඉහළ නංවන්නේත් නෑ.
ඊළඟට කැවිලි සෑදීමට ගන්නා ප්‍රධාන දේ තමා සීනි. අද දවසේ දි මේ වෙනුවෙන් සුදු සීනි භාවිත වුණත් අතීතයේ දී අපේ පැරැන්නන් භාවිත කළේ කිතුල් හෝ පොල් පැණි. ඉක්මනින් දිරවන සුදු සීනි වෙනුවට පැණි යොදාගෙන කැවිලි හදනවා නම් සෞඛ්‍යට හිතකරයි. ඊළඟට මේ කැවිලි බැදීමට හොඳ තත්ත්වයේ පොල්තෙල් යොදාගැනීමත් කැවිලිවල ගුණාත්මක භාවය රැකගැනීමටත්, සෞඛ්යාරක්ෂිත බවටත් වැදගත්. කාලෙකට කලින් පොල්තෙල් බිල්ලෙකු බවට පත්කරපු බටහිර වෛද්‍යවරු පවා අද දවසෙ දි කියන්නේ “පොල්තෙල්” මාරයකු නොව අනෙකුත් මේද වෘද්ධී කාරක තෙල් හා සැසඳීමේ දී අහිංසක යෙදවුමක් බවයි.
මේ නිසා කැවුම් සැකසීමේදී සාමාන්‍ය පොල්තෙල් පාවිච්චි කරන්න. අනෙකුත් බැදීම් සඳහාත් ඒ පොල් තෙල් සුදුසුයි. ආලේපන සඳහා සුදු පොල්තෙල් භාවිත කළාට කමක් නෑ. ඒ වගේ ම තමයි වරක් බැදි පොල් තෙල්වලින් යළි යළිත් බැදීම් කිරීම සුදුසු නෑ. මෙවැනි දේ අනුගමනය කරනවා නම් කැවිලිවලින් ශරීරයට ගුණයක් මිසක අගුණයක් නෑ.
ඊළඟට බැදීමෙන් පසු මේ කැවිලිවල වැඩි තෙල් ඉවත්වන ආකාරයට (පතුලෙන් ම පැතලි පීරිසියක් මුනින් නවලා)මැටි මුට්ටිවල ගබඩා කිරීමෙනුත් සෞඛ්‍ය හිතකර බව වැඩි කරගන්න පුළුවන්.
මෙන්න මේ දේ හරියට පිළිපැදලා දවස් තුනකට විතර පෙර බැදපු කැවුමක්, කොකිසක් කෑවට කිසිම හානියක් වෙන්නේ නෑ. ඒ වගේ ම මුං ඇට යොදාගන්නා කැවිලි වර්ගත් කිහිපයක් තියෙනවා. මේවා සඳහා මුංඇට පිටි යොදාගැනීමෙන් ශරීරය සිසිල් කරනවා. කහ කුඩු ශරීරයේ විෂ නසනවා. ආස්මිවලට ගන්න දවුල් කුරුඳු බඩවැලේ රෝග, දෝෂ සමහන් කරලා බඩවැල් සක්‍රීය කරනවා. ආහාර දිරවීම පහසු කරනවා. බඩගින්න වැඩි කරනවා. මේ සියලු දේට වඩා වැදගත් අනිවාර්ය සාමාජිකයෙක් කෑම මේසයට එක් කරගත යුතුමයි.
කිරිබත්වල සිට මුං කැවුම් වෙනකම් එක දිගට දිරවීමට උපකාරී වන මෙයා කැවිල්ලක් නම් නෙවෙයි. ස්වභාවික පරිසරයේ දායාදයක්, පලතුරක් වන මෙයා තමයි…. කෙසෙල්. හැබැයි ඉතින් ඒ අරමුණ සඵල වෙන්න නම් අවුරුදු මේසයට ගෙන ආ යුත්තේ ඇඹුල් වර්ගයේ කෙසෙල් ඇවරියක්. මොකද තමන්ගේ පවුලේ වත්කම හෝ ආඩම්බරය පෙන්වන්නට කෝලිකුට්ටු හෝ රත්කෙහෙල් වගේ දේවල් මේසයට එක් කළාට ඒවායෙන් සිද්ධවෙන්නේ ඇඹුල්වලින් සිද්ධ වෙන යහපත් ජීරණ ක්‍රියාවලිය නොවෙයි.
මූලික අමුද්‍රව්‍ය යොදාගෙන, නියම පදමට අනාගෙන පොල්, කජු, ශාක යුෂ යොදාගෙන තනන සෑම කැවිල්ලක් ම පිෂ්ඨය, මේදය සහිත ආහාර. මේ නිසා පෙර සඳහන් කළ අසනීපයන්ගෙන් පෙළෙන කෙනකු නම්, මේවා ආහාරයට ගත යුත්තේ වරකට ගන්නා ප්‍රමාණය හා ආහාරයට ගන්නා කාල පරාසය ගැන අවධානයෙන්. අනෙක් අයට නම් එහෙම සීමාවක් නෑ.
බඩ පිරෙනකම් වුණත් කාලා, හොඳට ඇඟ මහන්සි වෙන ක්‍රීඩාවක යෙදිලා, ගෙදර දොරේ වැඩක යෙදිලා ඉන්න පුළුවන්නම් කිසි ම සෞඛ්‍යමය අවදානමක් මතුවෙන්නේ නෑ. අතීතයේ සිට සිංහල අවුරුදු කාලෙට ඔන්චිලි, පොරපොල්, ජවන හා පිටිය සමූහ තරග පැවැත්වුණේ අවුරුදු කෑම දිරවන්න අවශ්‍ය සහයෝගය දෙන්න ම තමයි. අනෙක නෑදෑ ගමන් යෑම, නිවසට එන අමුත්තන් සඳහා අවශ්‍ය දේ සොයා යෑම වගේ දේවලටත් ශක්තිය වැය වීම නිසා මෙය එච්චරම ඇඟට දැනෙන දෙයක් වුණේ නෑ. යානවාහන, විද්‍යුත් මෙවලම් වැඩි අද දවසේ දී ඇඟ වෙහෙසීම අඩු වීම නිසායි අපේ ශරීරවලට ලෙඩරෝග එන්නේ. මේ නිසා අවුරුදු කැවිලි විතරක් නෙවෙයි අනෙකුත් ඕනෑම කෑමක් ගැනීමේ දි තමන්ගේ මහන්සියේ තරම ගැන හිතලා, ඒ තරමට අවශ්‍ය විදිහටයි ආහාරයට ගත යුත්තේ.
…මුහුණපොත ඇසුරෙන්…
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/1214-850x486.jpg)