තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ අවුරුදු 17 ක් වයසැති තරුණියකගේ මළ සිරුරක් ඇල්පිටිය ප්රදේශයේ තේ ඉඩමක දමා ගොස් තිබියදි සොයාගෙන තිබෙනවා.
ඝාතනයට ලක් වු තරුණිය සිය වැඩිමහල් සහෝදරියගේ සැමියා සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබු අතර, පොලිසිය සැකකරන්නේ එම පුද්ගලයා විසින් ඇයව ඝාතනය කරන්නට ඇති බවටයි.
ඇල්පිටිය පොලිස් වසමේ නානායක්කාර මාවත ප්රදේශයේ පිහිටි තේ ඉඩමක ගෙල කපා ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් ඇති බවට ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අනාවරණ කරගත්තේ මියගොස් ඇත්තේ කරන්දෙණිය තල්ගහවත්ත ප්රදේශයේ පදිංචි හංසිකා නදීශානි නමැති තරුණියක් බවයි.
එහිදී ඝාතනයට ලක්වූ තරුණියගේ දේහය පළමුවෙන්ම දුටු තැනැත්තා ප්රකාශ කළේ මෙවන් අදහසක්,
“මම චන්දිමාගේ ගෙදර ගියා. එයාගේ මහත්තයා මට කිව්වා පිහියක් අරන් මනුස්සයෙක් මිදුල උඩින් ගිහිල්ලා තියෙනවා. චුට්ටක් මේ ගැන හොයලා බලන්න කියලා. පස්සේ මම උදේ ගෙදර මේ ෂෝට් කට් එකෙන්, එතනින් එනකොට තමයි මෙයා වැටිලා ඉන්නවා දැක්කේ. මම හිතන්නේ මරලා මෙතනින් ගෙනත් දාලා වගේ..”තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කෙරුණු හංසිකා නදීශානි අවුරුදු 17 ක් වයසැති අවිවාහක තරුණියක්.
දැනට කරන ලද පරීක්ෂණවලට අනුව අනාවරණ වි ඇත්තේ ඇය සිය වැඩිමහල් සහෝදරියගේ සැමියා සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබු බවයි.
වැඩිමහල් සහෝදරියගේ දරුවන් දෙදෙනා බලාගැනීමට එම නිවසට ගිය අතරවාරයේදි එම තරුණිය සහ ඔහු අතර පෙම් සබඳතාවක් හටගෙන තිබුණා.
ඇය මීට මාස හතරකට පමණ පෙර සිය සහෝදරියගේ සැමියා සමඟ ගොස් ඇති අතර ඇල්පිටිය නානායක්කාර මාවත ප්රදේශයේ කුලියට ගත් නිවසක අඹුසැමියන් ලෙස ජීවත්ව තිබෙනවා.
ඔහු සමඟ මාස කිහිපයක් වාසය කළ හංසිකා දින කිහිපයකට පෙර දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිය මව්පියන්ට පවසා තිබුණේ අදාළ පුද්ගලයා තමන්ට පහරදෙන බැවින්, ඔහු සමඟ තවදුරටත් වාසය කළ නොහැකි බවයි.
ඒ අනුව එම තරුණියගේ මව්පියන් පසුගිය පස්වැනිදා එම නිවසට ගොස් ඇය යළි කැඳවාගෙන පැමිණ තිබුණා.
අදාළ තරුණිය ඊට පසු දින කරන්දෙණිය පොලිස් ස්ථානයට ගොස් තමන්ට සිදුවු හිරි හැර සම්බන්ධයෙන් පැමිණිලි ද කර තිබෙනවා.
එම පැමිණිල්ලට අදාළව කරුණු විමසීම සඳහා ඊයේ දිනයේදි ඇයට සහ ඇගේ අනියම් සැමියා වන පුද්ගලයාට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසට පොලිසිය දැනුම් දී තිබු අතර, ඇය සිය මව සමඟ පොලිස් ස්ථානයට යමින් සිටියදි ත්රිරෝද රථයකින් පැමිණි ඇගේ අනියම් සැමියා විසින් තියුණු ආයුධයක් පෙන්වා ඇය පැහැරගෙන ගොස් තිබුණා.
ඒ ඊයේ පෙරවරු කාලයේදීයි.
ඒ සම්බන්ධයෙන් හංසිකාගේ මව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිස් නිලධාරීන් හංසිකා සොයා පරීකෂණ පැවැත්වුවත්, ඇය සොයා ගැනීමට හැකිවී නැහැ.
තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබු හංසිකාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගත්තේ ඒ අතරතුරයි.
ඇගේ සිරුර හමුවු ස්ථානය ආසන්නයේ එම තරුණිය සහ ඇගේ අනියම් සැමියා වාසය කළ නිවස පිහිටා ඇති අතර, පොලිසිය සැකකරන්නේ ඇගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.
හංසිකාගේ පියා පැවසුවේ අවස්ථා කිහිපයකදීම අදාළ පුද්ගලයා විසින් එම තරුණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.
“ගිය අවුරුද්දේ 23 වැනිදා ඉස්සරවෙලාම අරන් ගියේ. ඊට පස්සේ අපි සුදේශ්ට ගහලා අරන් ආවා. ආපහු මෙයා ඇවිල්ලා අරන් ගිහින් තියෙනවා. ඒ ගිහිල්ලා ගිය දිහාක් නැහැ. හෙව්වා හෙව්වා හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මේ ගෙයි ඉඳලා තියෙන්නේ. අපි දන්නේ නැහැ. මේ පස්වැනිදා තමයි අපි දන්නේ එයාම කිව්වට පස්සේ මේ අහවල් ගෙයි ඉන්නේ කියලා…”
ඝාතනය සම්බන්දයෙන් සැකකරන සුදේශ් ප්රියංකර නමැති එම පුද්ගලයා මේ වන විට ප්රදේශයෙන් පළා ගොස් තිබෙනවා.