ප්රියා සූරියසේන කියන්නේ තවමත් රසික ජනතාව ආදරය කරන ගීත ගොන්නක හිමිකරුවෙක්.
ළයාන්විත හඬකින් රසික සිත් සොරකම් කල ප්රියා දැන් ඉන්නේ අසනීපව.
පසුගිය සුමති සම්මාන උළෙලේදී ඔහුට ලැබුණ උපහාරයත් එක්ක ඔහු ගැන නැවත කතාබහ කරන්න පටන් ගත්තා.
ඒ ඔහුගේ ගීත මොන තරම් නම් අපේ හදවතට ලඟයිද කියන එක නැවතත් දැනුන්නාට පස්සේ.
ඔහු දැන් ඉන්න තත්වෙ ගැන බොහෝ දෙනා දුක් වෙනවා.
ඒ ඔහුට තිබෙන ආදරය නිසාම.
මේ ඔහු ගැන ෆේස්බුක් සමාජ ජාලා හී තබා තිබු හදවතට දැනෙන සටහනක්.
හවසට ස්කූල් බස් එකේ මලලසේකර ගේට් එක පහුකරලා වැලිකඩ බන්ධනාගාරෙ ළඟින් බොරැල්ල පැත්තට හරවද්දි බස් එක පිටිපස්සෙ ජනේලෙට උඩින් තියන ෆයිබර් බෝඩ් එකේ බෙර සද්දෙ පටන් ගන්නවා.
ප්රියා සූරියසේන බස් එකට නගිනවා.
පළවෙනි සින්දුව සුදු පරෙවි රෑන සේ. හේතුව දන්නෙ නෑ. දවසක් දෙකක් වගේ ඇරෙන්න හැමදාම වගේ එහෙම වුණා.
සමහරවිට අපි ට්රැෆික් එකේ ඉද්දි පාසල නිමවී එන යොවුන් කුමරියන් පෙළින් පෙළට එද්දී මේ සින්දුව ඒ සියළු සුදුමැණිකෙලාට ඇහෙන්න කියන්න පටන් ගත්තා වෙන්න පුලුවන්.
සින්දුවෙ මැද්දෙ යන මියුසික් පාට් එකේ සද්දෙට ගැලපෙන්න ෂිකිං බුං බුං… ආනමාළු කෝලිකුට්ටු ඇම්බුං… කියලා කිව්වෙ.
ස්ලෝ සින්දුවල ඉඳන් නන්ස්ටොප්, අංගම්මන සුමන වෙනකං සින්දු කියාගෙන යද්දි මුල හරියෙ ප්රියා සූරියසේනගෙ ඊළඟ නම්බරේ කියන්නෙ ඈත රන් විමන් දොරින්.
මැද්දෙ තියන ආ……ආආ…..ආ… කෑල්ල වචන දන්න නොදන්න බස් එකේ හැම එකාම කියන සද්දෙ හිම මුදුන් අතරින් එබී බලද්දි බිමට වැටිලා වගේ ඇහෙන්නෙ.
බෙර බීට් එකට හොඳටම සෙට් වෙන සින්දුවක් හිරුද මුවාවී ලැසි ගමන බලාවී. ඊළඟට එනවා කැන්දං යන්නං රන්මල් මාලා දාලා. ඊටපස්සෙ එන නම්බර් එක හදවත ඉල්ලා නොලැබුණු විටදී. ඕක කිව්වෙ කඩවත ඉඳලා මම එන ගමනේ ඔබ බසයට නැගුණා කිරිබත්ගොඩදී කියලා.
ඔය ඔක්කොම සින්දු මැද ජෝති,මිල්ටන්,MS කපුගේ, අමරදේව,සැලලිහිනි සන්දෙශේ බාතිය සන්තුෂ් චින්ති වෙනකන් අය ස්ටේජ් එකට නැගලා බහිනවා. ප්රියා සූරියසේන අන්තිම වෙනකං ඉන්නවා. මොකද නාලන්දෙ ඉඳන් කොට්ටාවට බස් එක එද්දි නන්ස්ටොප් එක පටන් ගන්නෙ තලවතුගොඩ හරියෙදි.
ප්රියා සූරියසේන බහින්නෙ කොට්ටාවෙන්. ඒ අන්තිම සින්දුව විදිහට රටකින් එහා ඉගිලී කිව්වට පස්සෙ.
සින්දු කියන සින්දු ඇහෙන ඕනම තැනක, මගුලක, පාටියක,පැදුරක, බස් එකක, සෙට්වෙලා බොන තැනක, මැච් එකක, සංගීතෙක, ඉන්ඩෝර් කොන්සර්ට් එකක ප්රියා සූරියසේන ස්ටේජ් එකේ හිටියා. ජිල්ලබකිටියාවෙ බූලිවිජේගෙ කසිප්පු පොට් එකේ ඉඳලා, ෂැංග්රිලා එකේ වෙඩින් එකක වෙනකන් වෙනසක් නැතුව ප්රියා සූරියසේන හිටියා.
ජීවිතේ එක එක තැන්,එක එක සිද්දි හඬකින් විස්තර කරන්න කිව්වොත් ඒ බොහෝ තැන්වල ප්රියා සූරියසේනගෙ සද්දෙ තියනවා. ස්කූල් බස් එකේ සද්දෙ වගේ.
ලව් එකක් නැතිවෙලා ඇඬිලා,
මතු අප උපදින භවයේ
යලි හමුවේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළංවේවා
අහද්දි,
පාටියක හොඳටම බීලා
අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා….
කියලා කෑගහලා නැටුවා.
ප්රබුද්ද, පීචං, සුපර් ස්ටාර් ආදී කිසිම කැටගරියක ප්රියා සූරියසේන හිටියෙ නෑ. ඒ හින්දම ප්රියා සූරියසේනව නමෙන් කාටවත් ගාණක් තිබුණෙ නෑ.
සම්මාන ඉවෙන්ට් එක දැක්කම මතක් වුණේ දෙයියනේ මේ මනුස්සයගෙ සද්දෙ අපේ ජීවිතේ මතක තියාගෙන ඉන්න වීඩියෝ මෙමරිවල ඕඩියෝ ට්රැක් එක විදිහට කී තැනක ඉන්නවද කියලා. අදයි මේ ගැන ලියන්න වෙලාවක් හම්බුණේ.
ප්රියා සූරියසේන කියන්නෙ හුළඟක් වගේ මනුස්සයෙක්.
හුළඟ හැමවෙලාව අපි වටේ තියනවා. අපි හුස්ම ගන්නවා. දැනෙනවා. නමුත් ආනේ හුළඟ තියනවා නේද කියලා අපි නිතරම කියන්නෙ නෑ. මීටර් වෙන්නෙ නෑ. දැනෙන්නෙ නෑ.
නමුත් 60 ගණනවල වෑර්ලස් පරම්පරාවල ඉඳලා AI ස්පොටිෆයි ජෙනරේෂන් එක වෙනකන් තාමත් ප්රියා සූරියසේන අපි වටේ හුළඟක් විදිහට හමනවා.
ප්රියා සූරියසේනගෙ සද්දෙ අපේ ජීවිත චිත්රපටියේ තැන් තැන්වල බැග්රවුන්ඩ් මියුසික් එක විදිහට රෙකෝඩ් වෙනවා. ඉස්සරහටත් අපිට ඒ සද්දෙන් ගැලවෙන්න ලැබෙන එකක් නෑ.
තෑන්ක් යූ බොසා
(චමල් අකලංක පොල්වත්ත )
(උපුටා ගැනීමකි)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/13937853_100603033724203_3957749060517080830_o-1024x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/415947272_905637444467146_6886151870529673673_n-683x1024.jpg)