අපයෝජනය කර ඝාතනය කළ දස හැවිරිදි දැරියකගේ සිරුර සොයා ගනු ලැබූ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පොල්වත්තේ මුරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා..
ඒ ඔහු සිදුකළ පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන්..
තලෙයිමන්නාරම පොලිසිය සඳහන් කළේ 55 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි..
මෙම සිද්ධිය වාර්තා වන්නේ 2022 වසරේ අටලුගම ප්‍රදේශයේදී නව හැවිරිදි දැරියක් ඝාතනය කළ සැකකරුට වසර 27ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වී දින 3කට පසුව වීමද විශේෂත්වයක්..
වර්ණකුලසූරිය ඉයන්සි නමැති මෙම දැරිය තම සහෝදර සහෝදරියන් සමග තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි සිය මිත්තනියගේ නිවසේ පදිංචිව සිටියේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ පහසුව සඳහායි..
ඇයගේ මව සහ පියා ධීවර රැකියාව සඳහා සිලාවතුර ප්‍රදේශයට ගොස් නැවතී සිටින බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ..
ඇය තම බාල සහෝදරියට ආහාර රැගෙන ඒම සඳහා පෙරේදා පස්වරුවේ අසළ වෙළඳසැලකට ගොස් තිබූ අතර, යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මිත්තනිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා..
ඇයත් සමඟ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමේ මුරකරුද වෙළඳසැලට ගොස් ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දැරිය වෙළඳසැලට කැදවාගෙන ගිය තමන් පසුව පොල් ඉඩමට ගිය බවයි..
මොහු දැඩිව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවටද අනාවරණ වී තිබෙනවා..
පසුව පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව දැරිය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කළ අතර, එහිදී මිත්තනියගේ නිවසට මීටර 300ක් පමණ දුරින් පිහිටි පොල් වත්තක තිබී ඇයගේ සිරුර සොයාගෙන තිබුණා..
එම අවස්ථාවේ දැරිය ගවුමකින් සැරසී සිට ඇතත්, යටි කය නිරුවත්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ..
ඒ අනුව, දැරිය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට පොලිසිය සැක පළ කරනවා..
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරියගේ සිරුර යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ..
මේ අතර, දැරියට සාධාරණයක් ඉල්ලා තලෙයිමන්නාරම උතුර ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත වුණා..