ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බව කියන කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම විමර්ශන කටයුතු කටුපොත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකෙරේ.
කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයාට මීට පෙර අවස්ථා කිහිපයකදී ලිංගික හිරිහැර සහ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් චෝදනාවන් එල්ල වී තිබූ බව පැවසේ.
ඒ අනුව එම පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාතට ස්ථාන මාරු කිරීමට හිටපු පොලිස්පතිවරයා කටයුතු කර තිබුණද දේශපාලන බලපෑම් මත එම ස්ථානමාරුව අවංලගු කර ගැනීමට එම පොලිස් පරීක්ෂකවරයා පියවර ගෙන තිබිණි.
මේ අතර පසුගිය දිනක තම පොලිස් ස්ථානය තුළදී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා උත්සාහ කර ඇත.
සිද්ධියට මුහුණ දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය මේ බව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවසීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
මේ අතර ඉකුත් 29 වැනිදා කටුපොත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාර පොලිස් පරීක්ෂකවරියක් සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කල්පිටිය පොලිසියට පැමිණියද ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා අසනීප නිවාඩු වාර්තා කර පොලිස් ස්ථානයෙන් පිටතට ගොස් සිට ඇත.
අසනීප නිවාඩු වාර්තා කර සිටින පොලිස් ස්ථානාධිපතිවරයා කුමන ස්ථානයක රැඳී සිටිනවාද යන්න සොයා ගැනීමට විමර්ශන කටයුතු සිදුකරන නිලධාරින්ට මේ වන තුරු හැකියාවක් ලැබී නොමැත.