යුද්ධයේදී ආබාධිත වු පොලිස් විශ්රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා උසස්වීම් හා ඊට අදාළ වැටුප් ක්රමවේදයක් සකස් කිරීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.
එම කාරක සභාව සරත් වීරසේකර මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙන් රැස්වු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.
තමන් සේවයේ යෙදී සිටියා නම් ලැබීමට නියමිතව තිබු උසස්වීමට අදාළ තනතුරු නාමය ද, එයට අනුරූපී වැටුප සමඟ ලබාදෙන ලෙස ආබාධිත පොලිස් නිලධාරීන්ගේ නියෝජිතයින් එහිදි කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර විශේෂ ඒකකවල සේවය කරන නිලධාරීන් සිදුකරන විශේෂ වු රාජකාරිය සහ එහි ඇති අවදානම පදනම් කරගෙන ලබාදෙන දීමනාව විශේෂ ඒකකවල සේවය නොකරන නිලධාරීන්ට ද ලබාදෙන බවට මෙහිදි තොරතුරු අනාවරණය වී තිබේ.
එලෙස වැරදි ලෙස දීමනා ලබාදෙන විශ්රාමික ආබාධිත නිලධාරීන් පිළිබඳව විමර්ශනය කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
එමෙන්ම ආබාධිත පොලිස් රණවිරුවන්ට ප්රතිකාර ගැනීම සඳහා පොලිස් රෝහලේ වෙනම කවුළුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.