ශ්‍රී දළදා මාළිගයේ ඇත් පන්තිය නියෝජනය කරන තායිරාජා හස්තියාගේ රුධිර සාම්පල තායිලන්ත පශු වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් විසින් ලබා ගනු ලැබුවේ මාළිගයේ අනුදැනුමක් සහිතව බව දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා පවසයි.
තමාට නොදන්වා තායිරාජා හස්තියාගේ රුධිර සාම්පල තායිලන්ත වෛද්‍ය කණ්ඩායමක් විසින් රහසින් ලබා ගෙන ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා චෝදනා කර තිබුණි.
අදාළ රුධිර සාම්පල ලබාගෙන ඇත්තේ ශ්‍රී දළදා මාළිගයේ අනුදැනුමකින් තොරව ද යන්න සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, ශ්‍රී ලාංකික පශු වෛද්‍යවරුන් සහ තායිලන්ත පශු වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අදාළ හස්තියාගේ රුධිර සාම්පලයක් ලබා ගන්නා බවට ශ්‍රී දළදා මාළිගය දැනුවත් කර තිබු බවය.
මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමත් සමග එරටින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තායිලන්ත රජය නිරන්තර අවධානයෙන් පසුවන බව දියවඩන නිළමේවරයා සඳහන් කළේය.
ඒ අනුව තායිරාජා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ රුධිර සාම්පලය ලබාගෙන ඇති බව සඳහන්ය.
එම හස්තියාට ප්‍රතිකාර කළ ප්‍රධාන වෛද්‍යවරයාට ද නොදන්වා රුධිර සාම්පල ලබා ගැනීම වෛද්‍ය ආචාරධර්ම පද්ධතීන්ට පටහැනි ක්‍රියාවක් මිස වෙනත් රහසිගත කටයුත්තක් නොවන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළුණු මුතුරාජා හස්තියා තායිලන්තයට රැගෙන යාමෙන් පසු මීට වසර 37කට පමණ පෙර පරිත්‍යාගයක් ලෙස ලැබුණු තායිරාජා හස්තියාගේ සුවදුක් සොයාබැලීමට තායිලන්ත තානාපතිවරයා ශ්‍රී දළදා මාළිගයට ගොස් තිබු බව වාර්තා වේ.