යාපනය, අච්චුවේලී, නාවක්කාඩු පාසල අසල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් පවුම් 12ක් බර රන්මාල හා මුදු යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් ඊයේ (11) කොල්ලකා පලා ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙම කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටින අතරවාරයේ මුහුණු කළු රෙදි වලින් වසාගෙන යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනා එම කාන්තාවගෙන් ලිපිනයක් ගැන විමසන අතරවාරයේ යතුරුපැදියේ පිටුපස සිටි තරුණයා කාන්තාව බිම පෙරලා පසුව දෙදෙනාම එක්ව කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය සහ මුදු ගලවා ගෙන පලා ගොස් තිබෙනවා.
අනතුරුව කොල්ලකෑමට ලක්වූ කාන්තාව විසින් සිදුවීම සම්බන්ධයෙන් අච්චුවේලී පොලිසියට පැමිණිලි කොට තිබෙන බවත්, මෙම රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 17ක් පමණ වන බවට එම කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් බවයි වාර්තාකරු සඳහන් කරන්නේ.
අච්චුවේලී පොලිසිය විසින් මෙම සිදුවීමට සම්බන්ධ කොල්ලකරුවන් සොයා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරනු ලබයි.