නිට්ටඹුව ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කිරීමේ ස්ථානයකින් ජීප් රථයක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂාකර බැලීමට යැයි කියා එම ව්‍යාපාරිකයා ද සමඟ රැගෙන ගොස් එය පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
ව්‍යාපාරික ස්ථානයට පැමිණි පුද්ගලයකු මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් මිලදී ගැනීමට පැමිණි බව කියා එය පරීක්ෂා කර බැලීමට රැගෙන යෑමට ඉල්ලීමක් කර ඇතැයි කියති.
ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා ද රථයට ගොඩ වී එම පුද්ගලයා සමඟ ගොස් ඇතැයි පොලිසිය කියයි.
පස්යාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෝටර් රථ දෙකකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් ජීප් රථය නතර කර එය පැහැරගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ව්‍යාපාරිකයා ජිප් රථයේ සිටි පුද්ගලයාගේ තර්ජන නොතකා හරිමින් ජිප් රථය පදවාගෙන ව්‍යාපාරික ස්ථානයට පැමිණ සෙසු සේවකයින්ගේ ද සහාය ඇතිව ජිප් රථයේ සිටි පුද්ගලයා අල්ලා මෙල්ල කර මේ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.