මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (02) රාත්‍රියේ දී අදාළ සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි දිශාන් සංගීත් නමැති 29 හැවිරිදි එක් දරු පියෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ගේ සහෝදරියගේ සැමියා විසින් ඔහුගේ යතුරුපැදිය මූල්‍ය ආයතනයකට උකස් කර ඝාතනයට ලක්වූ පුද්ගලයාට රුපියල් 120,000ක මුදලක් ලබාදී ඇති අතර එය නිසි පරිදි නොගෙවීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.
මස්සිනා වන එම පුද්ගලයා, ඔහුගේ සහෝදරයා සමඟ ඝාතනය ලක් වූ පුද්ගලයාගේ නිවස අසලට පැමිණ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සඟවාගෙන සිටි පිහියකින් මෙම පුද්ගලයාගේ හිසට, පිටට සහ පපුවට ඇන ඇති බව අනාවරණය වී තිබේ.
තුවාල ලද පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය දෙකට පසු මිය ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය වූ ස්ථානයට පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.
සැකකරුවන් අද (03) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මිල්ලනිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.