පාස්කු ප්‍රහාරය සිදු වුණු ආකාරය සඳහන් වීඩියෝ පටයක් පසුගිය දා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවෙන් එළිදැක්වුණා. ඉන්පසු මේ සම්බන්ධව ඇති වුණේ ආන්දෝලනාත්මක තත්ත්වයක්.
මෙම වීඩියෝ පටයේ සඳහන් වන ආකාරයට සාක්ෂිකරු ලෙස පෙනී සිටි හන්සීර් අසාද් මවුලානා නමැත්තා විසින් හෙළිදරව් කළ ආකාරයට, මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව එම වීඩියෝ පටයේ අධ්යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ජිනීවාවලදී සාකච්ඡාවකට එක්වෙමින්.
SRI LANKA’S EASTER BOMBINGS; DISPATCHES වීඩියෝ පටයේ සඳහන් වාර්තාමය වැඩසටහනේ දැක්වෙන සාකච්ඡාව මෙහෙයවා තිබුණේ, ජිනීවාවල ස්වර්ණාභරණ අලෙවිකරුවකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ සිට එහි ගොස් පදිංචි වී සිටින අයකු විසින් බවයි පැවසෙන්නේ.
තොරතුරු වාර්තා වන අන්දමට එම වැඩසටහන සංවිධානය කර තිබුණේ, ඔහු විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක් මඟින්.
මෙම වීඩියෝ පටයේ දැක්වෙන ආකාරයට “අසාද් මවුලානා සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයෙක් ඒ නිසා නොවේ ද ඔහු මෙවැනි කතන්දරයක් ඉදිරිපත් කළේ? ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදු නොකළේ? රටින් පිට වනතුරු ඔහු එවැන්නක් පවසා නැහැ. ඔබ මේ තත්ත්වය දෙස බලන්නේ කෙසේ ද?” යනුවෙන් අසන ප්‍රශ්නවලට මෙහි අධ්යක්ෂ ටොම් වෝකර් පිළිතුරු දී තිබුණේ,
“ඔහු සහරාන් සමඟ සෘජු සම්බන්ධයක් පැවැත්වුවා ද යන්න මම දන්නේ නැහැ. ආසාද් මවුලානා එම හමුවීම සම්බන්ධීකරණයට එක්වූයේ ඇයි ද කියා මට පැහැදිළි පිළිතුරක් ලබා දෙන්න බැහැ. අවංකවම, සහරාන් සහ සලේ අතර එවැනි පූර්ව හමුවක් සිදු වූ බවට සාක්ෂි මා සතුව නැහැ. ඔහු වසර ගණනාවක සිට සලේ දැන සිටියා වෙන්න පුළුවන්. සලේ එවැනි හමුවකට සහභාගි වූයේ ද යන්න මම දන්නේ නැහැ.” යනුවෙන්.
මෙම වීඩියෝ පටය එළි දැක්වීමත් සමඟම එහි ප්‍රධාන සාක්කිකරු ලෙස පෙනී සිටි හන්සීර් අසාද් මවුලානා සම්බන්ධයෙන් විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් 2022 වසරේ ජනවාරි මාසයේදී අසාද් මවුලානාට නවාතැන් පොකුරු සම්බන්ධීකාරක (Shelter cluster coordinator) තනතුරක් ලබා දී ඇති බවත් වාර්තා වෙනවා.
මේ අතර, මෙම වීඩියෝ පටයේ පෙනී සිටි ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ සරත් කෝන්ගහගේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, අදාළ වාර්තා චිත්‍රපටය සඳහා තමන්ගෙන් සම්මුඛ සාකච්ඡාව ලබා ගත්තේ තමන්ව මුලා කරමින් බවයි.