සිංගප්පූරුවේ කටොන්ග්හි හෝටල් කාමරයක තිබී පසුගිය සෙනසුරාදා (09) කාන්තාවකගේ මළසිරුරක් සොයා ගෙන ඇති අතර, ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා වන ශ්‍රී ලාංකිකයකු (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
30 හැවිරිදි ඉෂාන් කෝට්ටගේ නමැති මෙම තරුණයාට චෝදනා එල්ලවුණේ සිංගප්පූරුවේ, නැගෙනහිර වෙරළ පාරේ පිහිටි Holiday Inn Express Katong Squareහිදී ඔහුගේ බිරිය වන 32 හැවිරිදි දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරි ඝාතනය කිරීම හේතුවෙන්.
විදෙස් මාධ්‍ය හෙළි කරන අන්දමට මෙම ඝාතනය සිදු වී ඇත්තේ පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 9) පෙරවරු 10.45 ත් සවස 4.42 ත් අතර කාලය තුළයි.
මෙම ශ්‍රී ලාංකික පුද්ගලයාට අදාළ රාජ්‍ය අධිකරණයේ වීඩියෝ ලින්ක් හරහා චෝදනාව භාර දී තිබෙනවා.
සතියක කාලයක් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග ලැබී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
විත්තිකරු නීතීඥවරයකු සම්බන්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කතා කරන ලෙස භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් ඉල්ලා සිටි අතර ඔහුට නීතීඥවරයකු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් මේ අවස්ථාවේදී කිසිවකු සමඟ සන්නිවේදනය කළ නොහැකි බව රජය දන්වා තිබෙනවා.
සැප්තැම්බර් 18 වන දා ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් වනු ඇති.
එරට පොලිසිය පවසන ආකාරයට මෙම සිද්ධිය සිදු වී ඇත්තේ මෙසේයි;
විත්තිකරු පසුගිය සෙනසුරාදා i12, කටොන්ග් සාප්පු සංකීර්ණය අසල පිහිටි හෝටලයේ කාමරයක් තුළදී තම බිරිඳ ඝාතනය කර පසුව එදින සවස 5.05 ට පමණ මැරීන් පෙරඩ් පොලිස් මධ්‍යස්ථානයට ගොස් තමන් සිය බිරිය ඝාතනය කළ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
පසුව, පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය අදාළ හෝටල් කාමරයට ගොස් පරීක්ෂා කිරීමේදී එම කාන්තාව හෝටල් කාමරය තුළ කැපුම් තුවාලයක් සහිතව නිසලව වැටී සිටින අයුරු දැක ඇති අතර ඇය එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් ද එම හෝටල් කාමරයේ තිබී පොලිසි භාරයට ගත් බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා වරදකරු වුවහොත් ඔහුට මරණීය දණ්ඩනයට මුහුණ දීමට සිදුවන බවයි..