කළුතර, සේරුපිට ප්‍රදේශයේ දී තියුණූ ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
කළුතර – දකුණ පොලීසිය පැවසුවේ, ඊයේ (08) රාත්‍රියේ මෙම ඝාතනය සිදු ව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කළුතර සේරුපිට කොළඹගේ වත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි 61 හැවිරිදි ශ්‍රවන සහ කථන ආබාධ සහිත පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ඊයේ සවස අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යන බව පවසා නිවසින් පිට ව ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදු කළ සොයාබැලීමක දී අසල්වැසි නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිත ව බිම වැටී සිට ඇත.
පසු ව නිවැසියන් විසින් ඔහු රෝහල්ගත කිරිමෙන් අනතුරු ව මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම අවස්ථාවේ දී මත්පැන් පානය කර සිටි බව වාර්තා වේ.
සැකකරු, ඝාතනයට ලක් වූ පුද්ගලයාගෙන් ණය මුදලක් ලබා ගෙන ඇති අතර, මීට පෙර දිනක දී එය නැවත ඉල්ලූ අවස්ථාවේ මොවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වූ බව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණිය පොලීසියට පවසා තිබේ.
කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් කළුතර – දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.