මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම පාතාලයේ ප්‍රබලයින් වන හරක් කටා හා කුඩු සලිඳු නඩු විභාගවලින් ගලවා ගැනීම සඳහා රජයේ ප්‍රබල නීතීඥ ඇමැතිවරයකු හා ඔහුගේ නීතීඥ පුතු විසින් විමර්ශන අංශවලට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග මාධ්‍ය වෙත කරුනු දක්වා ඇත.
මෙම බලපෑම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රභලයින්ට මෙන්ම පොලිසියේ ජ්‍යෙෂ්ඨම නිලධාරීන්ටද එල්ල වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමේ නියෝග මත රඳවා සිටින හරක් කටා හා කුඩු සලිඳුව රඳවා ගැනීමේ නියෝග ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කරවීමට මෙම පිය පුතු දෙපළ බලපෑම් කරන බව වාර්තා විය.
පාතාලයේ නඩු විභාග, කොළඹ ඉඩම් බලෙන් අල්ලන නඩු මෙන්ම පිරමීඩ ජාවාරම්කරුවන්ගේ නඩු විභාගවලටද මෙම ඇමැති පුතා මැදිහත් වී ඇතැයි වාර්තා පළව තිබේ.
පාතාලයේ නඩු විභාග සඳහා නීතිඥවරුන් තෝරා දීමටද මෙකී ඇමැති පුතා සහාය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් මෙම බලපෑම්වලට බිය වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් විවිධ අධිකරණවල නඩු 22 ක් පමණ පවතින බව නීතිපතිවරයා ඊයේ (06දා) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නඳුන් චින්තක හෙවත් හරක් කටා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මෙම දැනුම් දීම සිදු කළේය.
එම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් “හරක් කටා” නමැත්තාට එරෙහිව මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් විවිධ අධිකරණවල නඩු 22 ක් පමණ පවතින බව සඳහන් කළේය.
මොහු විදේශගත වී තිබෙන්නේ වෙනත් පුද්ගලයකුගේ විදේශ ගමන් බලපත්‍රයක් මගින් යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනට පවතින රැඳවුම් නියෝගය අහෝසි කොට ඔහු මුදා හරිනු ලැබූවොත් යළිත් අධිකරණය මග හැර පලා යෑමේ හැකියාවක් පවතින බවත් අනතුරු අඟවා සිටියේය.
දැනට ඔහු වෙනුවෙන් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය ලබන 10 අවසන් වීමට නියමිත බවත් එය තවදුරටත් දීර්ඝ කිරීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ලබන 08 වැනිදා යළි සලකා බැලීමට කැඳවන ලෙස නියෝග කළේය.