ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024” තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි සලකා බලා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉන්දීය කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහායකයෙකු වන පැචලෝඩියා ආකාශ් යන පුද්ගලයින් දෙදෙනාට මෙම තහනම පනවා ඇති අතර එය මාසයක් බල පැවැත් වෙනවා.
“ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024” තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම හතක් තරග වදින අතර ලබන 19 දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.
පංජාබ් රෝයල් සහ කෑන්ඩි වොරියර්ස් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සඳහා ඔවුන් මෙසේ බලපෑම් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
කළමනාකරුවන් දෙදෙනා ක්‍රීඩකයාව සිය කාමරය වෙත කැඳවා කාමරය විවෘත නොකරම තනි ඉලක්කමේ ලකුණකට ඉලක්කම් දෙකක පන්දුවකදී දැවීයන ලෙසට දැනුම් දී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකයට සහ තරගාවලියේ සංවිධායකයින්ට පැමිණිලි ලැබී ඇති අතර මෙම තරග පාවාදීම්වලට සම්බන්ධව තවත් පුද්ගලයින් සිටී ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවයි ක්‍රීඩා වැරදි වැළකීමේ විශේෂ ඒකකය සඳහන් කරන්නේ.