දොඩම්ගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 14 වනදා අලුයම 02.30ට පමණ දොඩන්ගොඩ පොලිස් වසමේ දොලේලන්ද ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුවුණු අතර, මියගොස් තිබුණේ, වයස අවුරුදු 37ක පුද්ගලයෙකි.
මතුගම හා දොඩංගොඩ ප්‍රදේශවල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ආරවුලක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබිණි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඒ වනවිටත් ප්‍රදේශයෙන් පළා ගොස් සිටි නිසා, ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදි.
කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලක මෙම සැකකරුවන් රැඳී සිටින බවට ආරංචි වී ඇති අතර, ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රදේශයේම පදිංචි දඩයක්කාරගේ බුද්ධික විජේසිරි නොහොත් මල්ටියා සහ ගයාන් විමුක්ති මධුසංක නොහොත් කළු ගයාන් නමැති වයස අවුරුදු 38 සහ 29 වියැති පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනාට මීට පෙර ද පුද්ගල ඝාතන ගිනිඅවි චෝදනා නිවාස බිඳුම්, මංකොල්ලකෑම් සහ වෙනත් විවිධ චෝදනා යටතේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මතුගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු වන අතර, මොවුන් අතර ඇතිවූ මත්ද්‍රව්‍ය ජාවාරමක ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකොට ඇතැයි පොලීසිය සැකකරයි.
සැකකරුවන් අද (26) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.