නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී පරීක්ෂණ කටයුත්තක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ ලෙස දැනුම් දීමක් කළේ යැයි කියන ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකුට එරෙහිව පීඨාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියමින් ඉකුත් 20 වැනි දා පේරාදෙණිය පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පොලිස් කොස්තාපල්වරියක ගෙන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ(25) පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටි එම පුද්ගලයා පසු දිනක පීඨාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් පහක් ලබාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
පීඨාධිපතිවරයා ඒ අවස්ථාවේ එම ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී ඇති අතර පසුව එම අංකයට කතා කර ඇත.
පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කර ඇතැයි පොලීසිය පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැන වැදීම නිසා සිසුන් කලබලයට පත්වී කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කතා කළ පුද්ගලයා දැනුම් දුන්නේ යැයි පීඨාධිපතිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව දැන ගැනීමට ඇත.
විද්‍යාලයේ ඇති සියළුම ලිපි ලේඛන 21 වෙනිදා කුලපතිවරයාට භාරදී පරීක්ෂණයක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණි ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දැනුම් දුන් බවද පීඨාධිපතිවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති.