වවුනියාවේ තෝනිකල් ප්රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට ප්රහාරයක් එල්ල කොට පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට යොදාගත් අවි ආයුධවලින් තවත් කොටසක් වවුනියාව පොලිසිය විසින් ඊයේ (03) සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් අපරාධය සිදු කිරීමෙන් පසුව අවි ආයුධවලින් කොටසක් වවුනියාවේ වැවක සගවා තිබූ අතර තවත් කොටසක් ප්රධාන කොන්ත්රාත්කරුගේ නිවසේ සගවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වන විට පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු සමඟ ප්රධාන අපරාධකරුගේ නිවසට ගොස් අවි ආයුධ තවත් කොටසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට මෙම අපරාධයට පැමිණි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අතර මෙම අපරාධය ඉටු කිරීමට කොන්ත්රාත්තුව ලබා ගත් පුද්ගලයාද සිටින බවට අනාවරණය වී තිබෙනවා.
අවම වශයෙන් තවත් හතර දෙනෙකුවත් අත්අඩංගුවට ගැනීමට සිටින බව පවසන වවුනියාව පොලීසිය බාහිර පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ මේ සම්බන්ධයෙන් ප්රශ්න කර ඇති බවද සඳහන්.
උපන් දින සාදය පැවති නිවසට මැරයින් ඇතුළු වී එහි සිටි උදවිය සියුම් ආයුධවලින් කපා කොටා පසුව නිවසට ගිණි තබා තිබුණා.
පසුගිය ජූලි මස 24 වෙනිදා සිදු වූ මෙම සිද්ධියෙන් අඹු සැමි යුවලක් මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබූ බවයි වර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ සංවිධානාත්මක පිරිසක් විසින් මෙම අපරාධය සිදු කිරීමට හේතුව අනියම් පෙම් පටලැවිල්ලක් බවට හෙළි වී ඇති බවයි.