වව්නියාව ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වූ නිවසකට ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස් දෙනෙකු වව්නියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතරේ පසුවන තරුණයින් බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.
මෙම නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි තරුණියක් හා ඇගේ 35 හැවිරිදි සැමියා ජීවිතක්ෂයට පත්වුණා.
එම සැමියා හා මෙම ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කලක් සමීප මිතුරන් ලෙස ඇසුරු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ පසුව ඇති වූ සිද්ධියක් හේතුවෙන් ප්‍රධාන සැකකරු මෙම පිරිස ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවයි.
වවුනියාවේ උපන්දින සාදයක් පැවති නිවසකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනෙකුගෙන් පැය 48ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා.
එම සැකකරුවන් සිදුකළ පාපොච්චාරණය අනුව අනාවරණ වී ඇත්තේ ප්‍රදේශයේ ධනවත් පුද්ගලයෙකු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදුකළ බවයි.
වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට මුහුණ ආවරණය කරගෙන පැමිණි පිරිසක් ගිනි තබා තිබුණේ පසුගිය ජුලි 23 වනදා රාත්‍රියේයී.
ගින්නෙන් එම නිවසේ සිටි 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම මියගිය අතර, බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණු ඇයගේ 33 හැවිරිදි ස්වාමිපුරුෂයා ද පසුව මියගියා.
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන වව්නියාව මූලස්ථාන පොලීසිය සහ වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාරදී තිබූ අතර ඒ අනුව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
එම සැකකරුවන් මෙම සිද්ධියේ වැඩිදුර විමර්ශන භාරව කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා ඇතුළු නිලධාරීන් වෙත අද භාරදෙනු ලැබුවා.
ඔවුන්ගෙන් සිදුකළ පරීක්ෂණවලදී මෙම අපරාධයේ සුලමුල අනාවරණය කර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ධනවත් පුද්ගලයෙකු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මතයි.
එදින උපන්දින සාදය පැවති නිවසේ රැඳී සිටි පුද්ගලයෙකුගේ අතක් කපා ඉවත් කිරීම සඳහා එම ධනවත් පුද්ගලයා කොන්ත්‍රාත්තුව ලබාදී තිබූ අතර මුහුණු ආවරණය කරගත් පිරිස පැමිණ තිබුණේ එම අපරාධය සිදුකිරීමටයි.
එම අවස්ථාවේ නිවෙස් හිමියා ඔවුන් ඉදිරියට පැමිණ ඇති අතර ඔහුව තියුණු ආයුධවලින් කපාකොටා නිවසට ඇතුළු වී මුළු නිවසටම පෙට්‍රල් වත්කර ගිනි තැබූ බවටයි ඔවුන් පාපොච්චාරණය කර ඇත්තේ.
මෙහිදී අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයාද ගින්නට හසු වී බරපතළ පිළිස්සුම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටිනවා.
මෙම නිවස ගිනිතබා එහි සිටි සියලුදෙනා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්කරු උපදෙස් ලබා දී තිබුණේ ඔහුගේ ඉලක්කය වූ පුද්ගලයා මෙම නිවැසියන්ව සමීපව ඇසුරු කිරීමට පළිගැනීමක් වශයෙන්.
සැකකරුවන් භාවිත කළ තියුණු ආයුධ රැසක් ප්‍රදේශයේ වැවකට දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද සොයාගත්තා.
ගින්නෙන් මියගිය 33 හැවිරිදි නිවෙස් හිමියා සහ අපරාධය කිරීමට කොන්ත්‍රාත්තුව ලබාදුන් ධනවත් පුද්ගලයා කලක් සමීප මිතුරන් ලෙස ඇසුරු කර ඇතැයිද අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් 5 දෙනා පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි වූ අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.