මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයේ ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව ගෘහය කාරක සභාවට මෙම මාසයේ ඉදිරිපත් කෙරේ.
සමස්තයක් වශයෙන් සියලුම ගාස්තු වැඩි වී තිබියදී මෙම නිවාස සංකීර්ණයේ ගාස්තු පමණක් වැඩි නොකිරීම සාධාරණ නොවන්නේ ය යන පදනමින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන අතර යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ගාස්තු වැඩි කළ යුතු ආකාරය තීරණය කිරීම ගෘහය කාරක සභාවට පැවරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.
1994 වසරේදී ඉදි කළ මෙම නිවාසයක රුපියල් පන්සියයක්ව පැවැති කුලිය ඉන් වසර දහයකට පසු රුපියල් දහස දක්වා වැඩි කර තිබෙන අතර එම වසරේ සිට මේ දක්වා ද අය කෙරෙන්නේ එම කුලියමය.
එමෙන්ම මන්ත්‍රි ධුරය අහෝසි වීමෙන් පසු ඉන් ඉවත් නොවන මන්ත්‍රිවරුන්ගෙන් අය කෙරෙන දෛනික දඩය ද රුපියල් පන්සියයක් තරම් අවම මට්ටමක පවතින බවත් එම ආරංචි මාර්ග කීවේය.
මෙම කුලී ගාස්තු සහ දඩ මුදල් වැඩි කළ යුතු බවට පාර්ලිමේන්තුවේ ගෘහය කාරක සභාවට වරින් වර ඉදිරිපත් කෙරෙන යෝජනා මේ දක්වා අනුමත කර නොමැති අතර මන්ත්‍රිවරුන්ගෙන් එතරම් අවම මුදලක් අය කළද නිවාස සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ඉහළ පිරිවැයක් දැරීමට පාර්ලිමේන්තුවට සිදුව ඇත.
කාමර තුනකින් යුත් මෙම නිවාසයක් මහල් දෙකකින් සමන්විතය. නිවාස එකසිය විස්සක් පවතින අතර මන්ත්‍රිවරුන් සඳහා නිවාස එකසිය එකොළහක් වෙන් කර තිබේ.