www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු 17දී ඇවිත්, අවුරුදු 28 වෙද්දි ගණිකා නිවාස 04ක හිමිකාරිය වූ... ‘ස්පා මැඩම්‘


2023-03-18 10:18:47 -  127 යි

සම්බාහන මධ්‍යස්ථානවලට තෙරපිවරියන් බඳවාගන්නා බවට පුවත්පත්වල දැන්වීම් පළ කරමින්, තරුණියන් බඳවාගෙන ගණිකා වෘත්තියේ යොදවන ධනවත් කාන්තාවක පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබේ.

‘ස්පා මැඩම්‘ යැයි හඳුන්වනු ලබන මේ කත වයස අවුරුදු 17දී තෙරපිවරියක ලෙස සම්බාහන මධ්‍යස්ථානයක සේවයේ නිරත වීමට ඇල්ලේ සිට කොළඹට පැමිණි තැනැත්තියක බව විමර්ශනවලදී හෙළි වී ඇත.

 

වයස අවුරුදු 28ක් වන මේ කාන්තාව මේ වන විට බත්තරමුල්ල හා තලංගම ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස 04ක් පවත්වාගෙන යන බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට තොරතුරු ලැබී ඇත.

සැකකාර කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව බත්තරමුල්ල පාලම් තුන හන්දිය ආසන්නයේ ඇති සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් සිටි ගණිකා නිවාසයක් වැටලූ අවස්ථාවේය. දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය මේ ගණිකා නිවාසය වැටලූයේ පෙරේදා (16) රාත්‍රී කාලයේදීය.

මෙහිදී ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනකු සහ එහි කළමනාකරු මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා විට එතැනට පැමිණ ඇත්තේ මේ ගණිකා නිවාසයේ හිමිකාරිය බව කියන ස්පා මැඩම් නමැති තැනැත්තියයි. ඇය ඒ පැමිණ ඇත්තේ මේ ස්ථානයේ දෛනික ආදායම් මුදල් රැගෙන යන්නටය. ඇය මෙහි පැමිණ ඇත්තේද සෙසු ස්ථාන තුනේ රැස් කරගත් රු. 94,000ක මුදලක්ද රැගෙනය. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේ වැටලීමට ලක් වූ ගණිකා නිවාසයේ දෛනික ආදායම ලෙස ඒ වන විට රු. 282,000ක මුදලක් තිබුණු බවයි. එම මුදල්ද පොලිසිය සිය භාරයට ගෙන ඇය අත්අඩංගුවට ගෙන ඇත.

මේ කාන්තාව රාජගිරියේ සුවිසල් නිවෙසක පදිංචිව සිටින බවත්, ඇය සුඛෝපභෝගි ජීවිතයක් ගත කරමින් සිටින තැනැත්තියක වග පෙනී යන බවත් පොලිසිය කියයි. සැකකාර කාන්තාවගේ අත්බෑගයද මෙහිදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. එහි තිබී පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට මුදල් ගෙවූ කුවිතාන්සි කිහිපයක්ද හමු වී තිබේ. මෙහිදී ඇය සතුව තිබුණු ජංගම දුරකතන 4ක්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකා නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. එම ජංගම දුරකතනවලට එක දිගට ඇමතුම් ලැබී ඇත්තේ ගණිකාවන් වෙන් කර ගැනීමට බව උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මධ්‍යම දූෂණ මර්දන බළකායේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ අධීක්ෂණයෙන්, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන්, පොලිස් සැරයන් බටුවත්ත (1445), කොස්තාපල් බාලසූරිය (77080) සහ කාන්තා කොස්තාපල් සුසන්තිකා (10523) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීම කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com