ඇසට කඳුළක් උනන සංවේදී කතාවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණා.
මේ කතාව පුංචි පුතෙක් ගැන කතාවක්. පුංචි වුණාට දස්කම් රැසක් පිරුණු නිර්මාණශීලි පුතෙක්ගෙ කතාවක්. ඊටත් එහා ගිය ලොකු හදවතක් තියෙන පුතෙක්ගෙ කතාවක්.
ඔහු නමින් රන්දිය. ඉගෙනුම ලැබුවේ 9 ශ්‍රේණියේ.
ගතිගුණ, හැකියාවන්වලින් අපි කොච්චර පරිපූර්ණ වුණත් ඇතැම් අවස්ථා එනවා අපිට ස්වභාව ධර්මයේ යම් යම් සීමාවන්ට යටත් වෙන්න සිදුවෙන.
අපේ කතා නායකයාටත් ඒ විදියට දරුණු ලියුකේමියා රෝගී තත්වයට අවනත වෙන්න සිදුවෙනවා. එහි අවදානම ගැන පුංචි පුතාත් කියවලා තිබ්බ වග තමයි සඳහන්ව තිබුණෙ. ඒ වගේම පුතාගෙ දෙමාපියන්ද එහි අවදානම් තත්වය ගැන හොඳින් දැනුවත්ව තමයි කටයුතු කරලා තියෙන්නෙ.
අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කාලයේ මේ පුංචි පුතා කාගෙත් ආදරය දිනූ හැමෝම වසඟයට ගත් ආදරණීය දරුවෙක්. පුතාට පාසල මඟහැරුණත් පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මඬුල්ල පුතාව බලන්න ඉඩක් ලැබෙන සෑම විටකම රෝහලට ගිය බවයි දැනගන්නට ලැබෙන්නෙ.
එහෙම ගිය එක අවස්තාවක විදුහල්පතිතුමා පුතාගෙන් අහලා තියෙනවා " පුතේ මට මොනවද පුතා වෙනුවෙන් කරන්න පුළුවන් කියලා..."
ඒ වෙලාවෙ පුතාගෙ ඉල්ලීම වෙලා තියෙන්නෙ එයාගෙ මල්ලිවත් තමන්ගේ පාසලට දාගන්න පුළුවන්ද කියන එක.
පුතාගෙ ඉස්කෝලෙ තර්ස්ටන් විද්‍යාලය. ඉතින් ගමේ ඉස්කෝලෙට යන මල්ලිවත් තර්ස්ටන් ශිෂ්‍යයෙක් හැටියට දැකීමයි මේ අයියගෙ එකම හීනය වෙලා තියෙන්නෙ.
ඉතින් තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස රන්දිය පුතාගේ මේ ඉල්ලීම ඉටු කරන්නෙ පුතාව පුදුම කරමින්.
රන්දිය හරිම දක්ෂ දරුවෙක්. පුතාගේ අත්කම් නිර්මාණ දකින ඔබත් ඊට එකඟ වේවි.
විදුහල්පතිතුමා වෙනුවෙන් පුතා හදලා දුන්නු කඩදාසි නිර්මාණ තාමත් පරිස්සමට පාසලේ තියෙනවා.
අයියගෙ හීන හැබෑ කරන්න මල්ලි දැන් පාසල් එනවා.
ඉතින් අපිට කියන්න ඕනි වුණේ මේ ලෝකෙ කොච්චර තරඟකාරී එකක් වුණත්, ආදරය මිනිස්කම තාමත් ජීවමානව පවතින බව....
ඒ වගේම තමයි රන්දිය පුංචි පුතා මේ ලෝකෙට ලස්සන මතකයක් ඉතිරි කරලා ගිය ආදරණීය දරුවෙක් විදියට හැමෝගෙම මතකයේ රැඳෙන බව විශ්වාසයි.