www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

03 "මං දෙකකටයි පුතේ සල්ලි ගත්තේ. කෝප්ප දෙකයිනේ තියෙන්නේ. අරකට සල්ලි ඕන නෑ" "අනේ එපා පුතේ, සල්ලි නම් මොනවද? යද්දි අරන් යනවද? මටත් ඉන්නේ දූලා තුන්දෙනෙක්" ජපුර සරසවියෙන් ඇහෙන මව්වත් කතක් ගැන අපූරු කතාවක්...


2023-03-03 10:56:36 -  107 යි

මේ එළඹිලා තියෙන්නේ මනුෂ්‍යත්වය හීන වුණු යුගයක්. පවතින ආර්ථික සහ සාමාජීය ප්‍රශ්නත් එක්ක මිනිස්සු එකිනෙකාගේ මනුශ්‍යත්වය පවා අමතක කරලා දාලා මුදල් පසුපස යන තත්ත්වයක් වර්තමානයේ උද්ගත වෙලා. 

 

විශේෂයෙන් ව්‍යාපාර කරන අය තුල මේ තත්වය දරුණුවට පෙන්නුම් කරනවා. කුඩා පරිමානයෙ ව්‍යාපාර කරන අය තමන්ගේ මහන්සියටත් වඩා වැඩි ගණනක් තම නිෂ්පාදනවලින් අය කරන්නයි ඔවුන් මාන බලාගෙන ඉන්නේ.

එහෙව් කාලෙක මේ කතාව අපිට අහෙන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. එහි කැන්ටිමක් කරගෙන යන කාන්තාවකගේ කරුනාවන්තකම ගැන වෙනත් විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථයෙක් අපූරු සටහනක් ලියලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි...

මීට දවස් දෙක තුනකට කලින් අපි යනවා ජපුර ෆැකල්ටියට. ඒ, හැම අවුරුද්දෙම ජපුර මෙඩිකල් ෆැකල්ටියෙන් සංවිධානය කරන "තර්කන" විවාද තරගාවලිය බලන්න සහ අපේ ෆැකල්ටිය නියෝජනය කරමින් ගියපු ටීම් එකට චියර් කරන්න. ඉතින් දවල් දෙකහමාර විතර වෙද්දී අපිට ඕන වෙනවා තේ එකක් බොන්න. එදා හරිම රස්නේ දවසක්. දිව ගිලෙන්න තරම් තිබහයි.

ඉතින් අපි තේ එකක් බොන්න තැනක් හොයන් යද්දි අපි කඩ කීපයක්ම පහු කරගෙන යුනි එක පැත්තට එනවා. කඩේ තියෙන කිසිම දෙයක් විකුණන්න උවමනාවක් නොතිබ්බ ලස්සන කපල් එකක් හිටිය කඩයක්, තේ හදන්න තුන පහූ වෙනකන් නැකැත් බල බල හිටපු කඩයක් ඒ අතරේ පහු වෙනවා. ඔහොම එද්දි අපි දකිනවා මුලින්ම හම්බෙන තුන්මං හන්දියෙ මුල්ලෙ පොඩි පෙට්ටි කඩයක් දාගෙන ඉන්න ඇන්ටි කෙනෙක්.

"ප්ලේන්ටි තියෙනවාද ඇන්ටි?"
"තියෙනවා පුතේ"
"ප්ලේන්ටි තුනක් දෙන්න ඇන්ටි"
ඒ කර්කශ ජපූර පුරවරේ ප්ලේන්ටි හොයාගැනීමේ ඉහවහා ගිය ප්‍රීතියෙන් යුතුව අපි තුන්දෙනා කියනවා.
පීරීස් කෝප්ප දෙකක් එක්ක තව ටිකක් අමුතූ කෝප්පෙකට ප්ලේන්ටි තුනක් අපේ අතට දෙන ගමන් මං ගාන කීයද ඇහුවම,
"හැටයි පුතේ"
ඇන්ටි කියනවා.
"තුනටම ද?"
"මං දෙකකටයි පුතේ සල්ලි ගත්තේ. කෝප්ප දෙකයිනේ තියෙන්නේ. අරකට සල්ලි ඕන නෑ"
අපි තුන්දෙනාගේ ඇස් උඩ ඉන්දමින් ඇන්ටි කියනවා.
මේක හැමෝටම අමාරු කාලයක්. අපේ ඩොක්ටර්ස් කැන්ටින් එකේ කැශියර් එකේ පවා හැමතිස්සෙම රුපියල් දහයක් මාටියා ගහන්න බලන් ඉන්න තත්වයක් තියෙද්දී මෙහෙම මිනිස්සූත් ඉන්න පුලුවන්ද?' අපට හිතෙනවා.
"අනේ ඒකට කමක් නෑ ඇන්ටි. ඒකටත් සල්ලි ගන්න"
ඇන්ටි ගැන ඇත්තම අනුකම්පාවකින් අපි කියනවා.
"අනේ එපා පුතේ. සල්ලි නම් මොනවද? යද්දි අරන් යනවද? මටත් ඉන්නේ දූලා තුන්දෙනෙක්. දොදොල් තියෙනවා. කෑල්ලක් කපලා දෙන්නද?"
ආයෙත් ඇන්ටි අහනවා.
"හා දෙන්නකෝ හැබැයි සල්ලි ගන්න හරිද"
මං කියනවා.
ලොකුම ලොකු දොදොල් කෑල්ලක් කපලා දීලා ඉවර වෙලා,

"සල්ලි එපා පුතේ. මං මේ ගිය සතියෙ තමයි මැරිලා ආයෙත් ඉපදුණේ. ප්‍රෙෂර් එක තුන්සිය අනූවට නැග්ගා. කඩෙත් ඇරලා දාලා මරු විකල්ලෙන් මං ගෙදර ගිහින් තියෙන්නේ. දොස්තර මහත්තය කිව්ව පුදුමයි මගෙ ජීවිතේ බේරුණ එක. මං කරපු පින්වල බලෙන් තමයී මගෙ ජීවිතේ බේරුණේ පුතේ."

ඇන්ටි කියනවා.
"කොල කැඳත් තියෙනවා. කොහොමත් විසි කරන එක නේ වීදුරුවක් දෙන්නම්"
ඉතින් අපට රසම රස කොල කැඳ වීදුරුවකුත් හම්බවෙනවා.
අපි ආපු එකෙන් මේ මනුස්සයගෙ පොකට් එකට සෑහෙන පාඩු වෙන එක හරිගස්සන්න අපට ඕන වෙනවා.
"ඇන්ටි හවස් වෙනකම්ම ඉන්නවද?" ඇහූවම,
"මේ ටිකට් ටික තියෙනකම් පුතේ ඉන්නේ. මේ ටික ඉවර උන ගමන් ගෙදර යනවා" ඇන්ටි කියනවා.
ඇන්ටි එයාගේ දූලා තුන්දෙනා මතක් කරලා අපිට කරපු ආගන්තුක සත්කාරවලට මුදල්මය වටිනකමක් දෙන්න හදන එක එයාගේ මනුස්සකමට කරන අගෞරවයක් කියල තේරුම් ගන්න අපි තුන්දෙනා ඉතුරු වෙලා තියෙන ටිකට් ටිකෙන් සෑහෙන ප්‍රමාණයක් ගන්නවා.
ඇන්ටි ලස්සනට හිනා වෙනවා.
මේ ලස්සන මනුස්සයා ගැන ලියන්න ඕන කියලා එතනදිම මට හිතෙනවා. එන්න කලින් මං හොරෙන්ම ඇන්ටිගේ පින්තූරයක් ගන්නවා. මගේ ලිස්ට් එකේ ජපුරේ යාලුවො ගොඩක් ඉන්නවා. මේ ඇන්ටිගෙන් කොල කැඳ එකක් බීලා නැති කවුරු හරි ඉන්නවනම් හෙටම ඒ රසම රස කොල කැඳ එකක් බොන්න යයි කියලා හිතාගෙන මං මෙහෙම ලියනවා.
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිස්සුත් ඇත්තටම ඉන්නවා කියලා මට හිතෙනවා. මිනිස්සු ගැන කලකිරීම් ඇති වෙන හැම මොහොතකම එහෙම ලස්සන මිනිස්සු මට මුණ ගස්සන දෛවයට මං හදවතින්ම ස්තුති කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com