අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ විදුලි වැටේ බැටරි හතරක් ගලවා සොරකම් කරගෙන ගොස් සිටි සෆාරී උද්‍යානයේම සේවය කරන ස්ථීර සේවකයකු වන අලි රැකවල්කරුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
සෆාරී උද්‍යානයෙන් පිටතට උයනේ සිටින අලි ඇතුළු වීම හා පිටතින් වන අලින් පැමිණිම වළක්වාලීම සඳහා සෆාරී උද්‍යානය වටා ඉඳිකර ඇති විදුලි වැටට සූර්ය බලයෙන් විදුලිය සැපයීම
සිදුකෙරෙන අතර ඒවායේ සවිකර තිබූ ඉතා වටිනා බැටරි හතරක් සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා තිබේ.
ඒ අනුව සෆාරී උද්‍යානයේම අලි ඇතුන් රැක බලා ගැනීම සිදු කරන අලි රැකවල් සේවකයකුගේ නිවසේ මෙම බැටරි හතර තිබිය දී පොලිසිය සොයාගෙන ඇත. සැකකරු සෆාරි උද්‍යානය පිහිටි ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් බැටරි හතර සමඟ සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් වරුන් වන 4712 සමන්ත, 3997 අමිල, පොලිස් කොස්තාපල් 92708 හෂාන් යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.