www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ, බිලියන 1.5ක හිඟ සුරා බදු තවම ගෙවා නැති ඇලෝසියස්ට යළිත් අරක්කු ලයිසන්


2022-08-18 08:04:26 -  182 යි

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ.

මෙන්ඩිස් සමාගමට මීට පෙර නිකුත්කර තිබූ බලපත්‍ර තුන අතරින් දෙකක් මෙලෙස නැවත නිකුත්කර ඇතැයි, මේ සම්බන්ධයෙන් ‘අරුණට’ අදහස් පළකළ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කළේය. ඉතිරි බලපත්‍රයද ඉදිරියේදී නිකුත් කිරීමට හැකියාවක් පවතින්නේද යන්න දෙපාර්තමේන්තුව විසින් සලකා බලන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන් සඳහා හිමිව තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය 2018 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලදී.

එසේ අවලංගු කරන ලද බලපත්‍රය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වීමෙන් පසු, වසර දෙකක් තුළ හිඟ බදු මුදල නැවත ගෙවීමේ එකඟතාවක් මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය නැවත නිකුත් කෙරිණි. 2021 ජුනි මස 01 වන දින යළි අහෝසි කරන ලද්දේ එම බලපත්‍රයයි. පෙරේදා (16දා) මෙම බලපත්‍ර යළි ලබාගැනීම වෙනුවෙන් මෙන්ඩිස් සමාගමේ නියෝජිතයන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සහ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයකු ද සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බලපත්‍ර නිකුත් කර ඇත. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වේ.

නයන තරංග ගමගේ
උදයජීව ඒකනායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com