www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගුවනින් ඒමට හිටපු අගමැතිට ලක්ෂ අටක් ගිහින්


2022-08-11 07:08:57 -  239 යි

හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2022 මැයි 18 වන දින ත්‍රිකුණාමලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් හා නැවත රැගෙනයාම වෙනුවෙන්  ගුවන් හමුදාව මගින් ගුවන් ගමන් පහසුකම් සපයා ඇත්තේ වාණිජමය පදනම මත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් තොරතුරු දැනගැනීමේ පදනම මත ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.

 2022 මැයි මස 09 වන දින සිට රටතුල ඇතිවූ දැඩි අර්බුදකාරී තත්වය හමුවේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුලට පිටව ගිය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුව 18 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණීම වෙනුවෙන් ගුවන් හමුදාව මගින් ගුවන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින් විවිධ විවේචන එල්ලවන්නට විය. විශේෂයෙන්ම පැවති ඉන්ධන අර්බුදය හමුවේ මේ ආකාරයෙන් හිටපු අගමැති වරයෙකුට ගුවනින් පැමිණීමට ගුවන් ගමන් සැපයීම ඉන් එල්ල වූ එක් චෝදනාවක් වේ.

මෙවන් පසුබිමක මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ  තොරතුරු ඉල්ලා ගුවන් හමුදා මූලස්ථානය වෙත 2022.05.20 දින අයදුම්පතක් යොමුකළ අතර ඒ සදහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ  පනතේ විධි විධාන පරිදි   නියමිත දිනට තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට කටයුතු කිරීමට නොහැකිවි තිබේ.

 කෙසේ නමුත් මාස තුනකට ආසන්න කාලයකදී  2022.අගෝස්තු මස 03 වන දිනැතිව අදාල පොදු අධිකාරිය මගින් ලබාදුන් තොරතුරුවලට අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එදින පාර්ලිමේන්තුවට පැමිණීමට භාවිත කර ඇත්තේ Y12 වර්ගයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් වේ. නමුත් සමාජ මාධ්‍ය තුළ එම සිද්ධිය උකහා දක්වමින් පලකළ ඡායාරූප තුල දක්නට ලැබුනේ MI 17 වර්ගයේ ගුවන් යානාවක් වේ.මේ  මගින් සනාථ වන්නේ සමාජ මාධ්‍යවල පළවූ ඡායාරූප හා තොරතුරු එතරම් සත්‍යතාවයක් නොමැති බවයි.

 කෙසේ නමුත් මෙම ගුවන් ගමන වෙනුවෙන් එදින ඉන්ධන ලීටර් 875ක් හා ඒ වෙනුවෙන් රුපියල් 318500.00 ක් වැය කර තිබෙන බවද ගුවන් හමුදා මූලස්ථානයේ තොරතුරු මගින් අනාවරණය වේ. එමෙන්ම අනෙකුත් නඩත්තු වියදම් ලෙස රුපියල් 484005.86ක මුදලක් මෙන්ම ගුවන්යානා ගොඩබෑමේ ගාස්තු ලෙස රුපියල් 1100.00ක් ද ඒ අනුව එම ගුවන් ගමන වෙනුවෙන්  සමස්ත වියදම ලෙස රුපියල් 803605ක් පිරිවැයක් යොදවා ඇති බවයි ගුවන් හමුදා මූලස්ථානයෙන් ලබාදුන් තොරතුරු මගින් සනාථ වන්නේ.

 කෙසේ නමුත් එම වියදම් කවුරුන් විසින් ගෙවන ලද්දේ දැයි සිදුකළ විමසීමට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඒ වෙනුවෙන් හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ  පුද්ගලික ලේකම් මගින් මුදල් සපයා ඇති බවයි. එම පහසුකම් ලබාදී ඇත්තේ මුදල් ගෙවීමේ පදනම මත වාණිජ ගුවන්ගමන් ලබාදීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව බවද ගුවන් හමුදා මූලස්ථානය පෙන්වා දෙයි.

කෙසේනමුත් ගුවන් හමුදාව මගින් එම ගුවන් ගමන් පහසුකම්  ලබාදීම වාණිජ පදනම මත  සිදුකර ඇතත්එහිදී ගෙවන ලද ගුවන් ගමන් ගාස්තු ගෙවන ලද්දේ සැබවින්ම පුද්ගලික වියදමින්ද? නැතහොත් රජයේ යම් ආයතනයක් මගින් ද? යන්න තුල අපැහැදිලිතාවයක් පවතී.

  එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැනගැනීම සඳහා හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ  පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරනු ලබන රොහාන් වැලිවිට මහතාගෙන් සිදුකළ විමසිකමකදී ඔහු කියා සිටියේ “ මම ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නෑ ආපු විදියවත් මම දන්නේ නෑ, ආවයි කියන එක හැරෙන්න ගුවනින් ආවද බිමින් ආවද කියලවත් මම දන්නේ නෑ” එමෙන්ම පුද්ගලික ලේකම් ලෙස කෙනෙකු විශේෂයෙන් හිටියේ නැති බවත් පුද්ගලික ලේකම් ලෙස වැඩ බලන ලද්දේ රෝහිත රාජපක්ෂ මහතා බවද හෙතෙම කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com