www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අරගලයේ අනාගතයට කොයිබටද?


2022-07-27 12:56:46 -  125 යි

-ආචාර්ය සිදම්බරන් මෝහන්

වෘත්තියෙන් ගුරුවරයකුව සිටියදී 1977 දී ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබන ආචාර්ය සිදම්බරන් මෝහන් පසුව නව සම සමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර,වික්‍රමබාහු කරුණාරත්න,ලීනස් ජයතිලක, බැරිස්ටර් අන්නාමලෙයි වැන්නවුන් ඔහුගේ දේශපාලනයේ නිරතවූවෙකි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කෙරුවකි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ජනවාර්ගික කටයුතු පිළිබඳ ලේකම් ධුරයද දැරූ ආචාර්ය සිදම්බරන් මෝහන් ජාත්‍යන්තර මට්ටමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පක්ෂය ගෙන යාමට ඇප කැපවී ක්‍රියා කළ සාමාජිකයෙක්ද වේ. විවිධ දේශපාලන මත ගැටුම් නිසා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පක්ෂයෙන් ඉවත්ව යාපනය වඩ්ඩුකොඩ්ඩෙයි උපන් ග්‍රාමයට යන මොහු ගොවියන්ගේ ධීවරයන්ගේ,කම්කරුවන්ගේ ගැටලු පිළිබඳ අවධානය යොමුකර ඔවුන්ට සේවය කිරීමට විවිධ වැඩසටහන් දියත් කළේය. යාපන මිතු​රෝ සංවිධානය ආරම්භ කළ ආචාර්ය සිදම්බරන් ‘හින්දු බෞද්ධ එකමුතුවේ’ ලේකම් පදවිය දරමින් බෞද්ධ සහ හින්දු ජනතාව අතර සහයෝගීතාව වෙනුවෙන් හඬ නැගූ ජනතා නායකයකි. ඉන් අනතුරුව එක්සත් ජනතා පෙරමුණ නමින් පක්ෂයක් සකස් කළ ඔහු මේ වන විට එම පක්ෂයේද ප්‍රධාන ලේකම් තනතුර දරනු ලබයි.

අවුරුදු තිහක එල් ටී ටී ඊ ත්‍රස්තවාදයේ භයානකත්වය අපි අත්දැක ඇත්තෙමු. එහිදී ජාති ආගම් භේදයකින් තොරව වටිනා ජීවිත විශාල ප්‍රමාණයක් අපේ රටට අහිමි විය. එමෙන්ම ජ වි පේ භීෂණය නිසාද අපේ රටේ තරුණ පරපුර විශාල වශයෙන් අපට අහිමි වූ බව අමුතුවෙන් නොකිවමනාය. දැන හෝ නොදැන විවිධ දේශපාලන කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ වුවමනාව මත අද අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන් නැවතත් මේ රට භීෂණයක් වෙත ඇදගෙන යන බවක් පෙනෙන්නට ඇත. මෙම අරගලයට හේතු සැපයූ, එයට අවස්ථාව උදාකරදුන් ඇතැම් දේශපාලනඥයන්ගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී සිටින අතර තවත් පිරිසක් විදේශගතව මේ වන විටද එම රටවල සුවබර ජීවිත ගතකරමින් සිටියි. නමුත් මේ අරගලය සඳහා සක්‍රියව සහභාගි වී ඇත්තේ දුප්පත් අසරණ දෙමාපියන්ගේ දරුවන්ය. ඔවුන් විවිධ පුද්ගලයන්ගේ වුවමනා එපාකම් මත මෙහෙයවෙන බව ඔවුන් හෝ නොදනී. අරගලය සහ විප්ලවය මේ රටට අවශ්‍යය. නමුත් දැන් අරගලකරන පිරිස අරගලයේ සහ විප්ලවයේ සැබෑ අර්ථයවත් දන්නා බවක් පෙනෙන්නට නැත.

ජාති ආගම් භේදයකින් තොරව රටේ යහපත වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් මේ රටේ සියලු දෙනා එකතු විය යුතුය. එහි කිසිදු විවාදයක් නැත. නමුත් ඒ සමගිය ඇති කළ හැක්කේ මෙවැනි ආවේගය පතුරුවන වැඩසටහන් හරහා නොවේ.

රෝහණ විජේවීර සහ වේලුපිල්ලේ ප්‍රභාකරන් යන දෙදෙනාම මේ රටේ විප්ලවයට දුන්නේ වැරදි අර්ථකථනයකි. මේ දෙදෙනාම විප්ලවය යන වචනය අවභාවිත කළෝ වෙති. අදද එහි වෙනසක් නැත. අද රටේ සැබෑ අරගලයක් හෝ විප්ලවයක් නැත. ආවේගශීලීව කෑ ගැසීම,පොදු දේපළවලට හානි පැමිණවීම

අරගලයේ ස්වභාවයද නොවේ. අද ඇත්තේ අරගලය යන ලේබලය ගසාගත් දේශපාලන කොන්ත්‍රාත් වැඩසටහනක් බවට සාක්ෂි සාධක එමටය. අරගලය යන වචනයේ සැබෑ අර්ථය එහි සැබෑ පෞරුෂය හඳුනන්නෝ ජනාධිපති නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය හෝ වෙනත් රජයේ ස්ථානයක් අත්පත් කරගෙන එහි සම්පත් විනාශ කරමින් ,ලෝකයටම විහිළු සැපයීම නොකරති. ඒවායේ ඇඳ, පුටු, මේස,පිහිනුම් තටාක පරිහරණය කරමින් අරගලය ජයග්‍රහණය කළා යැයි පැවසීම බොළඳ මානසිකත්වයකි. මහජන මුදලින්ම නඩත්තු වෙන වටිනා දේපළ විනාශ කරමින් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වූයැයි සිතා සිටින අරගලකරුවන් තවමත් විප්ලවයක හෝ අරගලයක සැබෑ අර්ථය ඉගෙන ගෙන නැත.

මේ රටේ අහිංසක දෙමාපියන්ගේ දුවා දරුවන් විවිධ දේශපාලන මත දරන්නන්ගේ අතකොලු බවට පත්වෙමින් විනාශ කර ගන්නේ ඔවුන්ගේ අනාගතයයි. අනාගතයේදී ඔවුන් මුහුණ දෙන ඒ විනාශයට අද ඔවුන්ව උසිගන්වන කිසිවකු වගකියන්නේද නැත.

අරගල බොරදියේ මාළු බාන ජාත්‍යන්තරය

මේ අරගලය මෙහෙයවන පිරිසට දැන් මේ අරගලයේ නතර කර දමන ලෙසට තරුණ තරුණියන්ට උපදෙස් දිය හැකි ය. නමුත් ඔවුන් එලෙස නොකරන්නේ ජාත්‍යන්තරයේ අවධානය අපේ රට වෙත රඳවා තබා ගැනීමේ වුවමනාව නිසාය. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක් මෙවැනි අර්බුදයකට මුහුණ දුන් විට එයින් අයුතු ප්‍රයෝජන ලබාගැනීමට බොහෝ රටවල් මාන බලමින් සිටියි. ලංකාව පිහිටීම අතින්, ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ස්වාභාවික වටිනාකම්වලින් ද පිරුණු රටකි. ඒ නිසාම ලෝකයේ බොහෝ රටවල අවධානය ලංකාව දෙසට යොමු වී තිබේ. මෙවැනි අරගල විසින් බිහිකරන ගැටුම්කාරී තත්ත්වයන් යොදාගනිමින් විදේශ රටවලට අපේ රට වෙත අතපෙවීමට අවශ්‍ය හේතු සකස්කරගන්නවා ඇත.

අවුරුදු ගණනාවක් මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා අපි සටන් කර ඇත්තෙමු. විදේශීය ආක්‍රමණ නිසා අපේ රටේ සම්පත් බොහෝමයක් අපට අහිමි විය. එමෙන්ම වටිනා ජීවිත සිය දහස් ගණනින් අපේ රටට අහිමි විය. ජාති ආගම් භේදයකින් තොරව මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් ගලවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් ජීවිත පරිත්‍යාග කර තිබේ. එලෙස ජීවිත පරිත්‍යාග කරමින් දිනාගත් නිදහස නැවතත් අප විසින්ම අහිමි කර ගැනීමට යාම කනගාටුවට කාරණාවකි.

වසර ගණනාවක් තිස්සේ අපේ රට අත්පත් කර ගන්නට බලා සිටින විදේශ බලවේගයන්ට දැන් රට තුළ උද්ගත වී ඇති තත්ත්වය වාසි සහගතය. ඔවුන් රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අස්ථාවරත්වය ඉත්තෙකු කරගනිමින් අපේ රටට බලපෑම් කරන්නට උත්සාහ දරමින් සිටියි.

මේ අතරම එයට සමාන්තරව තවත් දෙයක් සිදුවේ. අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගනිමින් හැසිරුණු ආකාරය පිළිබඳව ජාත්‍යන්තරයේම අවධානය යොමු විය. අපේ රටේ දේශපාලනික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද වටිනාකමක් ඇති ස්ථානවල වගකීම් විරහිතව හැසිරෙන පිරිස් දෙස ජාත්‍යන්තරය බලන්නේ වෙනත් කෝණයකිනි. එයින් සිදුවූයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ තව තවත් හෑල්ලුවට ලක්වීම පමණි.

මේ අර්බුදයට වගකිව යුත්තේ ගෝඨාභයද ? රනිල්ද ?

1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග ශ්‍රී ලාංකිකයන්ට ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වූ බව රහසක් නොවේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රටක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් වසර ගණනාවක් තිස්සේ බලයට පත්වූ දේශපාලනඥයන් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මේ රටේ සශ්‍රීකත්වය ටිකෙන් ටික විනාශ කර දැමූහ. මේ රටේ තිබූ ස්වාභාවික සම්පත් සියල්ලම පාහේ ඔවුහු පිටරටවලට විකුණා දැමූහ.

නමුත් අද රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බව ඇතැමුන් පවසයි. තවත් පිරිසක් පවසන්නේ මේ අර්බුදයට වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ බවයි. නමුත් මේ රට පත්ව ඇති තත්ත්වයට වගකිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ පමණක්ම නොවේ.

අද රට පත්ව ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වසර ගණනාවක් තිස්සේ මේ රටේ පැවැති ආර්ථික දේශපාලන ක්‍රමවේදයේ දුර්වලතාවන් ය. රටට ගැළපෙන දේශපාලන ,ආර්ථික තීරණ සුදුසු කාලයේ නොගැනීම නිසා ටිකෙන් ටික වර්ධනය වූ අර්බුදය දැන් උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. මේ අර්බුදය එක්වරම ඇති වූවක් නොවේ. එය කාලයක් තිස්සේ විවිධ පාලකයන්ගේ සහ දේශපාලනඥයන්ගේ අදූරදර්ශී තීරණ නිසා වර්ධනය වූවකි.

එහි සම්පූර්ණ වගකීම ගෝඨාභය රාජපක්ෂ වෙත පවරා ඵලක් නැත. කොවිඩ් කාලසීමාව තුළ මේ රට සහ ජනතාව කොවිඩ් අවදානමෙන් මුදා ගන්නට ගෝඨාභය රාජපක්ෂ භාරදූර කාර්යයක් ඉටු කළ බව අමතක කිරීමට තරම් අප කුහක නොවිය යුතුය. කොවිඩ් කාල සීමාවේදී ජාත්‍යන්තරයෙන් පවා ඔහුගේ ක්‍රියා කලාපය ඇගයීමට ලක් කෙරුණි.

එමෙන්ම දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ අපි කුරිරු ත්‍රස්තවාදයට මුහුණ දුන්නෙමු. රැයක් දවාලක් නැතුව සියලු දෙනාම ජීවත් වූයේ කොයි මොහොතේ ජීවිතය නැති වේ දැයි දෙගිඩියාවෙනි. එතැනදී සියලු දෙනාට අවශ්‍ය වූයේ නිදහසේ ජීවත් වීමට රටකි. ගෑස් ,ඉන්ධන, ඉල්ලනවා වෙනුවට මිනිසුන් පාලකයන්ගෙන් ඉල්ලූවේ ජීවත්වීමට සමකාමී රටක් පමණයි. වසර තිහක් පුරාවට පැවැති කුරිරු යුද්ධය නිමා වීමත් සමග ජනතාවට සාමකාමීව ජීවත් විය හැකි රටක් නිර්මාණය විය.

ත්‍රස්තවාදයෙන් පසුව නැවතත් අපේ රට ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පැවතුණි. නමුත් විවෘත ආර්ථිකය නිසා අපේ රටේ ස්වයංපෝෂිත ආර්ථික රටාව බිඳ වැටුණි. සියලුමදේ විදේශ රටවලින් ගෙන්වා පරිභෝජනයට ගැනීමේ මානසිකත්වය නිසා රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය අඩාළ විය. ඒත් සමග රටට ආදායම් ලැබෙන බොහෝ මාර්ගයන් අවහිර වුණි. අද රට තුළ ඇති වී ඇති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව නිෂ්පාදනයන් බිඳ වැටීමයි. ඒ නිසා නැවතත් මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් ආර්ථික රටාවක් ගොඩ නැගීම අනිවාර්යය වේ. ඒ සඳහා සියලු දෙනා එකමුතු විය යුතු ය.

එමෙන්ම පවත්නා දේශපාලන ක්‍රමවේදය තුළද දුර්වලතා පවතී. දේශපාලන නායකයන් මෙන්ම නිලධාරි පැළැන්තියද මේ රටෙහි ඇති වී තිබෙන අර්බුදයට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. අදටත් අපේ රටේ නිලධාරිවාදයට නිමාවක් තැබීමට කිසිවකුටත් හැකියාව ලැබී නැත. ඒ නිසා නිලධාරිවාදය නිමා කරමින් සියලුම දෙනා වගකීමෙන් රට වෙනුවෙන් කටයුතු කරන වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබේ. සැබෑ අරගලය දියත් විය යුත්තේ එම ඉලක්කයන් ජයගැනීම වෙනුවෙන් නොවේද?

දකුණට දැනෙන බර උතුරට නොදැන්නේනේ ප්‍රභාකරන් නිසයි

අරගලකරුවන් අරගල කරන්නේ සමස්ත රට වැසියා වෙනුවෙන් යැයි පැවසුවත් ඔවුන් හරහා සමස්ත රට වැසියාගේම වුවමනා එපාකම් නියෝජනය වන්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ දේශපාලන පක්ෂ කිහිපයක හෝ පුද්ගලයන් කිහිප දෙනකුගේ ඉල්ලීම් පමණි. එම ඉල්ලීම් ජයග්‍රහණය කළත් ඒ හරහා රටේ සියලු දෙනාගේ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත.

අරගලකරුවන් උතුරේ හෝ දකුණේ හෝ සමස්ත ජනතාවගේ සැබෑ ඉල්ලීම් වෙනුවෙන් හඬ නගන්නේ නැත. ඔවුන් කටයුතු කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ය.

අද සිංහල දෙමළ මුස්ලිම් භේදයක් නැතිව සියලු දෙනාම ඉන්ධන පෝලිම්වල ගෑස් පෝලිම්වල බලා සිටියි. අරගලය නිමා වුවද එසැණින් මේ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත. දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවද ආර්ථික අර්බුදයන් නිසා පීඩා විඳිති.

වසර තිහකට ආසන්න කාලයක් බෝම්බවලට,වෙඩි උණ්ඩවලට බියෙන් ජීවත් වූ උතුරේ මිනිසුන් ද දකුණේ මිනිසුන් මෙන්ම ආර්ථික අර්බුදය නිසා පීඩා විඳියි. නමුත් දශක තුනකට ආසන්න කාලයක් යුද්ධය කුරිරු අත්දැකීම් සමග ජීවත් වූ ඔවුන්ට දුෂ්කරත්වය දරා ගැනීම පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැත. එනිසා ගෑස් නැතිකමින්, තෙල් නැති කමින්, විදුලිය නැති කමින් බිහිවන අරගලකරුවෝ උතුරේ නැත.

ප්‍රභාකරන් වසර තිහකට ආසන්න කාලයක් යුදමය තත්ත්වයක් ඇති කරමින් කළ ක්‍රියාවලිය අනුමත කළ නොහැකිය. නමුත් ඔහු හැම විටම ස්වයංපෝෂිත වීමට දෙමළ ජනතාව දිරි ගැන්වූ අයුරු පමණක් ආදර්ශයට ගත යුතු යැයි සිතෙයි. “අනෙකා විශ්වාස කරමින් කාලය නාස්ති නොකර හැකි තරම් උඹලාගේ දේශය වගාවෙන් ස්වයංපෝෂිත කරපල්ලා ” ඒ ප්‍රභාකරන්ගේ උපදේශය විය. අද දකුණට දැනෙන බැරි අමාරුකම් උතුරට ඒ සා පීඩාවක් ලෙසින් නොදැනෙන්නේ මේ නිසාය. සිය දේශපාලන දැක්ම විනාශකාරී වුවත් ප්‍රභාකරන් විසින් ස්වයංපෝෂිත වීම වෙනුවෙන් අපට ලබා දුන් උපදේශය එදාටත් වඩා අද අපේ රටේ දියුණුවට වැදගත් බව අප වටහාගත යුත්තේය.

ජාති ආගම් භේදයකින් තොරව,දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම රට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහනකට පෙළ ගැසුණා නම් අපට අද ගෝල්ෆේස් අරගලයක් අවශ්‍ය නොවන්නටද ඉඩ තිබුණි.

අරගලයේ අනාගතයට කොයිබටද?

නිසි අරමුණක් නොමැතිව ආවේගය පතුරවමින් පවතින අරගලයට දිගු ගමනක් යා නොහැකි ය. අධිවේගයෙන්, විවේචනය පිළි නොගෙන නායකත්වයක් නොමැතිව දැඩි විශ්වාසවල ඇලී යන ගමනේදී පොදු සතුරාට යටත් වීමට සිදුවන බවට කාල් මාක්ස් පවසා තිබේ. සැබෑ අරගලකරුවන් නම්, වැරැද්දක් පෙන්වා දුන් විට ඒ වරද පිළිගැනීමටත්,නිවැරදිකර ගැනීමට තරම් නිහතමානී විය යුතුය. එමෙන්ම පොදු සමාජයෙන් එල්ලවන විවේචන පිළිගත යුතුව ඇත. තමන් යම් බලවේගයක් විසින් මෙහෙයවෙමින් සිටින්නේද යන බුද්ධිමය ස්වයං සංවාදය අරගලකරුවාට තිබිය යුතුය. මේ රට ගෝඨාභයගෙන් රනිල්ගෙන් මුදාගෙන සුරපුරයක් කළ හැකි යැයි ඇති විශ්වාසයක් අරගලකරුවන්ගේ සිත් තුළ ඇති කරමින් ඔවුන් නිවැරදි නොවන මාවත් වලට යොමු කිරීමට අරගලය පිටුපස සිට මෙහෙයවන හස්තයෝ උත්සාහ දරමින් සිටින බවට එවිට ඔවුනට වැටහෙනු ඇත.

මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන්, නිදහස් සෞඛ්‍ය සම්බන්ධයෙන්, ගමනාගමනය සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලු රාශියක් ඇති බව රහසක් නොවේ. පෙට්‍රල්,ගෑස් පෝලිම්,ඖෂධ පෝලිම් නිසා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම අපහසුතාවට පත්වී සිටින බවත් සැබෑවකි. නමුත් මහපොලොවේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් හඬ නැගීමට අවංකව පෙරට ආ තරුණ තරුණියන් පවා දැන් එක් එක් පාර්ශ්වයන්ගේ වුවමනා එපාකම් මත හැසිරෙන ඇමක් වී හමාරය. ඔවුන්ට අනාගතය සම්බන්ධයෙන් මෙන්ම වර්තමානය සම්බන්ධයෙන් ද නිවැරදි දැක්මක් නැත. පැහැදිලි වැඩපිළිවෙළක් නැත. රැල්ලට ගසාගෙන යන්නා විප්ලවවාදියෙක් හෝ අරගලකරුවෙක් වන්නේ නැති බව මේ දරුවන්ට පෙන්වාදීම වාම දේශපාලනයේ දශක ගණනාවක අත්දැකීමක් වැඩිහිටියකු ලෙසින් මා වැන්නකු විසින් පෙන්වා දීම යුතුකමය.

88-89 කාල වකවානුව තුළ මෙලෙසම තරුණ තරුණියන් සිය දහස් ගණනකගේ ජීවිත නිකරු​ණේ විනාශ වූ බව සියලු දෙනාම හොඳින් දන්නා කරුණකි. වර්තමානයේත් බොහෝ දේශපාලන නායකයන් සහ පක්ෂ උත්සාහ දරන්නේ එම තත්ත්වයම ඇති කිරීමට දැයි ඔවුන්ගේ ක්‍රියා කලාපයන් දෙස බලන විට සැකයක් උපදී.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට හිස නැමිය නොහැකි, එයට අනුවර්තනය විය නොහැකි සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමට තරම් උසස් මනසක් නැති පිරිස් අහිංසක තරුණ ජීවිත සිය දහස් ගණනින් බිලි ගනිමින් සිටිති. ඇතැම් දේශපාලන නායකයන්ට පාර්ලිමේන්තුවේදී පවා පිළිගැනීමක් නැති බව පසුගිය ජනාධිපති තේරීමේ මැතිවරණයේදී අවබෝධ විය.

අනුර කුමාර දිසානායක සහෝදරයාට ජනතා මනාපය උපරිමෙන් තිබෙන බව පැවසුවත් පාර්ලිමේන්තුවේ දී ඔහුට හිමිවූයේ මනාප තුනක් පමණි. ඔහුගේ ක්‍රියා කලාපය අගය කළ ඇතැම් මන්ත්‍රිවරු පවා එදින ඔහුට ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එවැනි දේශපාලනඥයන්ට රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ ශක්‍යතාවක් තිබේද? අද අරගලය පසුපස සිටින අනෙකුත් උදවිය තමන්ට කිසිදා පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගැනීමට නොහැකි බව දනිති. ඒ නිසා තමන්ගේ න්‍යායපත්‍රයට අනුව රට මෙහෙයවීම පිණිස ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් එපිට වෙනත් විකල්ප වෙත යොමුව සිටියි. අරගලය යනු රට යහපත් මගක පෙරට යෑමට බල කරන අවංක බලවේගයකට වඩා එවැනි වූ බලවේග විසින් තමන්ගේ බල තණ්හාව සංසිඳවාගැනීම පිණිස යොදාගන්නා ‘විකල්ප මෙවලමක්’ නොවන්නේද?

ඒ නිසා දේශපාලනික වශයෙන්වත් ස්ථාවරත්වයක් ගොඩ නගා ගත නොහැකි පිරිසක් ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් අරගලය මෙහෙයවන තරුණ තරුණියන්ට මෙන්ම අරගලයටද පැහැදිලි අනාගතයක් ඇති බවක් පෙනෙන්නට නැත.

එක් අතකින් බලන විට අරගලයද එක්තරා ආකාරයකට දෙමළ ඩයස්පෝරාවට සමානකම් දක්වන්නකි. මන්ද දෙමළ ඩයස්පෝරාව යනු බටහිර රටවල සිය සුඛවිහරණය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව විවේචනය කරනු ලබන ලාබ ලබන ව්‍යාපාරයක් නිසාය.

රනිල්ගේ භූමිකාව සාපයක්ද?

මේ රට පත් වී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උතුරේ මෙන්ම දකුණේ නායකයන් ද එකතු විය යුතුය. රට බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක රනිල් වික්‍රමසිංහ හෝ මේ රටේ වගකීම භාර ගැනීම අගය කළ යුතුය. දේශපාලනික වශයෙන් රට නගා සිටුවීම සම්බන්ධයෙන් කිසිදු වැඩසටහනක් නැති පුද්ගලයන්ට රනිල් වික්‍රමසිංහට දොස් තැබීමට සදාචාරාත්මක අයිතියක් නැත. යම්කිසි අයුරකින් ඔහු මේ රටේ වගකීම භාර නොගත්තානම් මුළු රටම අරගල භූමියක් වන්නට ඉඩ තිබුණි. මේ අවස්ථාවේ දී උතුරේ දරුවන් මෙන්ම දකුණේ දරුවන් ද ආරක්ෂා විය යුතුය. රනිල් වික්‍රමසිංහ හෝ කවුරුන් පත් වුවත් තවදුරටත් දේශපාලනික වශයෙන් ජාති ආගම් වශයෙන් බෙදෙමින් කටයුතු කළොත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් නැත. ඒ නිසා මේ අවස්ථාවේදී දේශපාලනඥයන්,නිලධාරීන්,රටේ තරුණ තරුණියන් මෙන්ම සමස්ත ජනතාවම රට ගොඩ නැංවීමේ අරමුණ වෙනුවෙන් එකාවන්ව නැඟී සිටිය යුතුය.

අරුමෝසම් අරගලය ආර්ථික අරගලයක් දෙසට

තවමත් බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ගෑස් සහ ඉන්ධන හිඟයට විසඳුම් ලැබුණු විට බොහෝ ගැටලු විසඳෙන බව ය. නමුත් ඉන් ඔබ්බට ගොස් දැවැන්ත ආර්ථික අර්බුදයකට විසඳුම් සෙවීමට අපට සිදුව තිබේ. ඉදිරියේදී රටේ ආහාර අර්බුදයක් ඇති වන බවටත් ඒ සම්බන්ධයෙන් වන විශේෂඥයන් අනතුරු අඟවා ඇත. ඒ නිසා මේ රටේ වාරි පද්ධතිය සක්‍රීය කරමින් රට කෘෂිකර්මාන්තයෙන් යළිත් ස්වංපෝෂිත කළ යුතුය.

එමෙන්ම පිටරට භාණ්ඩ සහ සේවාවන් පරිභෝජනය අවම කරමින් දේශීය නිෂ්පාදන පරිභෝජනය කිරීමටත් ඒවා විදේශයන්ට අලෙවි කරමින් ඩොලර් උත්පාදන වැඩසටහන් වලට යොමු වීමටත් කටයුතු කළ යුතුය.

මේ රට තවදුරටත් මෙලෙසින් පවත්වාගෙන යාමට අපහසු ය. ඒ නිසා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු වගකිවයුතු බලධාරීන් එකතු වී මේ රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව ජාත්‍යන්තරය සමග සාකච්ඡා කර ඔවුන් තුළ පැහැදීමක් ඇති කළ යුතුව ඇත. එලෙස ජාත්‍යන්තරය සමග වන විශ්වාසය ගොඩ නංවා ගැනීම තුළින් නැවතත් අපේ රටට ඩොලර් ගෙන්වා ගැනීමට හැකියාව පවතී.

දෙමළ මුස්ලිම් සිංහල ජනතාව අතර තවදුරටත් බෙදීම් පවතී නම් එම බෙදීම් අමතක කර දමා රට වෙනුවෙන් සියලු දෙනාම තම තමන්ගේ වගකීම ඉටුකළ යුතුය. ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට නීතියේ සමානත්වය ලැබිය යුතුයි.

ලංකාවෙන් පිට සිට විවිධ බලවේග ක්‍රියාත්මක කරන විවිධ සංවිධානවල ශක්තිය හීන කර දමන්නට නම් රට තුළ පාලන ක්‍රමවේදය ශක්තිමත් ආකාරයෙන් ගොඩ නැංවීම අනිවාර්ය වේ. එවිට විදේශීය බලවේගවලට මෙන්ම, විවිධ දේශීය බලවේගවලට ද ලංකාවේ පාලනයට අතපෙවීමට නොහැකි වනු ඇත.

ලාංකේය දේශපාලනය ගැන සහ දේශපාලනඥයන් පිළිබඳව රටින් පිට සහ රට තුළ ජීවත්වන ජනතාවගේ සිත්වල විශ්වාසයක් ඇති වූ විට ඔවුන් මේ රට ගොඩ නැංවීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීමට නොපැකිළිව ඉදිරිපත් වනු නොඅනුමානය. මෙහිදී අනෙකා දෙස වපරැසින් බැලීම වෙනුවට විශ්වාසයේ දෑත දිගුකිරීම අතිශයින් වැදගත්ය. 88-89 ජවිපෙ ක්‍රියාකාරීන්ට මෙන්ම උතුරෙ යුද්ධයේදී ත්‍රස්තවාදීන් ලෙසින් හැසිරුණු අයටද මෙම පාර්ලිමේන්තුවේ ආසන වෙන්වේ නම්, රටින් එපිට සිටින දෙමළ ජනයාට ජනවාර්ගිකත්වය මත ‘අසාදු ලේඛනගත’ නොකර ඔවුනටද මෙරටට පැමිණ මේ ආර්ථික විප්ලවයේ කොටස්කරුවන් වීමට අවස්ථාව සැලසිය යුත්තේය. මේ උදාවී ඇත්තේ ජනාධිපති මන්දිරයේ සයනයක් මතට වී සෙල්‍ෆි ගසන අරුමෝසම් අරගලයක් නොව, රටේ සැබෑ ගැටලුව සිහි බුද්ධියෙන් හඳුනාගනිමින් ආර්ථික අරගලයක් ඇරඹීමේ මොහොත බව පක්ෂ පාට, ජාති, ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයකුටම වැටහේවා!

සාකච්ඡා සටහන – නිරෝෂා වාසල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com