www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්


2022-05-27 16:52:28 -  190 යි

හිටපු කර්මාන්ත අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට අද වසර දෙකක සිර දඬුවමක් පැනවුනා.

ඒ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කූට ලේඛණ සකසා රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව යටතේයි.

මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මීට අමතරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ශෂී වීරවංශට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද පනවා තිබෙනවා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුනේ ඇයගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු ද ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි.

එමෙන්ම ශෂී වීරවංශ මෙම උපන්දින දෙකම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් දෙකක් ද සකස් කර ඇති බවත්, ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කර ඇති බවත්, මෙම රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය හදිසි කටයුත්තක් සේ සලකා ඉක්මනින් ලබාදෙන ලෙස එවකට අමාත්‍ය විමල් වීරවංශ ආගමන විගමන පාලකවරයාට දුරකථනයෙන් අමතා බලපෑම් කර ඇති බවත් අදාල නඩු විභාගයේදී අනාවරණය වී තිබුනා.

විමල් වීරවංශ මේ වනවිට ආණ්ඩුවත් සමග යම් ගැටුමක නියැළී සිටියත් එය පවා හුදෙක් නාටකයක් පමණක් බවටත් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග විමල්ලාට යටින් ඩීල් එකක් ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැමුන් චෝදනා කරන අතර එම චෝදනාව පිළිබඳව පවා යම් තහවුරුවක් හෝ නිෂේධනයක් මේ තීන්දුව හරහා ලැබෙනු ඇති බවටයි දේශපාලන විචාරකයින් මෙම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ.

යහපාලන සමයේ ඇතැම් දේශපාලනඥයින්ට එරෙහිව ගොනු කෙරුණු නඩු දේශපාලන පළිගැනීම් වශයෙන් හැඳින්වුණත් මේ නඩුව එම වර්ගීකරණයටත් ලක් කළ නොහැක්කේ මෙම සිදුවීම හුදෙක් තමන්ගේ වයස අඩුකර පෙන්වීම වැනි ළාමක, මෝඩ වුවමනාවක් වෙනුවෙන් රාජ්‍ය බලය අවභාවිතා කරමින්, කූඨ ලේඛන සකස් කිරීමේ වරදක් මත පදනම්ව ඇති නිසායි.

වසර හතක් පුරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු මෙම නඩුවට පාදක කෙරුනේ 2015 ජනවාරි මස 23 වැනි දා බත්තරමුල ප්‍රදේශයේ පදිංචි චමින්ද පෙරේරා නැමැත්තෙක් විසින් රහස් පොලිසියට අදාළ පැමිණිල්ලක්.

එහි සඳහන් වූයේ 2010 සැප්තැම්බර් මස 13 වැනිදා සහ 2015 පෙබරවාරි මස 26 වෙනිදා අතර කාලයේ දී අංක ඩී 2042817 දරණ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය නීත්‍යානුකුල බලයක් නොමැතිව තමන් සන්තකයේ තබා ගැනීම හා ඒ හරහා ආගමන විගමන පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවටයි.

ඒ අනුව ඒ පිළිබඳව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය විසින් අදාළ නඩුව පවරනු ලැබුවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com