www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසර 69කට පසු දැවැන්තම හර්තාලය අදයි


2022-05-06 08:18:52 -  134 යි

1953දී ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද දිවයින පුරා සංවිධානය කර තිබේ.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සදහන් කළේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජන සිදු කරන බවය. 

මේ සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සියලු වෘත්තිය සිමිති සහය ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව දුම්රිය සහ සියලු පෞද්ගලික බස් රථ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ නිරත වන බව දැනුම්දී තිබේ.

දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේ දුම්රිය වෘත්තිය සමිති රැසක් හර්තාල් ව්‍යාපාරයට එක්වන බවය.

මේ අතර ඊයේ රාත්‍රි  පොල්ගහවෙල, රඹුක්කන සහ අලුත්ගම දක්වා කොළඹ සිට ධාවනය වීමට තිබූ දුම්රිය තුනක් අවලංගුවීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්විය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මහතා සදහන් කළේ සියලු පෞද්ගලික බස් රථ ද වර්ජනයට එක්වන බවය.

කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදු කරන බව එම මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.

හර්තාල් ව්‍යාපාරය සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සහය ලබාදෙන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

එමෙන්ම අද පාසල් වෑන් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති  හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සදහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් වැඩවර්ජනයට එක්වන බවයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය  සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

මේ අතර අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සදහා සහය ලබාදීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ද තීරණය කර තිබේ.

පීඩාවට පත් ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොකර මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබාදීමට තීරණය කළ බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

මේ අතර අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සදහා සහයෝගය ලබාදෙන බව  මහබැංකු වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සරත් ඒකනායක මහතා සදහන් කළේය.

එමෙන්ම රට පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් අද දිනයේ කාර්යාල කටයුතු සිදු නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපරේතමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව අද විදේශ ගමන් බලපත්‍ර සහ ජාතික හැදුණුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවා ඇතුළු මහජන සේවා ක්‍රියාත්මක නොවන බවය. 

මේ අතර පීඩාවට පත්ව සිටින ජනතාවගේ කටයුතුවලට බාධාවන ආකාරයට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට පැමිණිමට නොහැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පැවසීය.

මේ අතර අද සිට ගුවන්තොටුපල ප්‍රභු පර්යන්තයන්හි රාජකාරි කටයුතුවලින් ඉවත්විමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com