රාත්‍රී කාලයේ ලොරි රථයකින් විවිධ ප්‍රදේශ වලට ගොස් ගවයින් සොරකම් කිරිමේ ජාවාරමක නිරත වු බව කියන සංවිධානාත්මක කල්ලියක සාමාජිකයෙකු ගිනි අවියක්,පතොරම් හා ජීව අත් බෝම්බයක් සමග ඊයේ (19) අලුයම අකුරැස්ස අබේපාල හංදිය ආසන්නයේ දී ලුහු බැද ගොස් සැක පිට අත් අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.
පරදුව ප්‍රදේශයේ ක්ෂණික පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී සැක කටයුතු එම ලොරි රථය පරික්ෂා කිරීමට පොලීසිය උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවේ දී එය නොනවත්වා ධාවනය කර තිබේ.
පසුව අකුරැස්ස පොලීසියේ ස්ථානාධිපති එස්.ජයවීර මහතා ඇතුළු කණ්ඩායමක් ලොරි රථය පසු පස ලුහු බැද ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා එය නතර කරවා ගෙන ඇත.
එම අවස්ථාවේ දී ඒ තුල සිටි සැකකරුවන් දෙදෙනෙකු පැන පලා යාමට සමත් වී තිබේ.
ලොරි රථයේ රියදුරු සැක පිට අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී ලොරි රථය තුල තිබී ටී 56 වර්ගයේ පතොරම් යොදන ටී කටස් වර්ගයේ ගිනි අවියක්,ටී56 වර්ගයේ ජීව පතොරම් පහක් හා විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව ගවයින් ගැට ගැසීමට යොදා ගන්නා කඹ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු මී ඇල්ල බඩබද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔවුන් ගව සොරකම් වල නිරත පිරිසක් බවට පොලීසිය සැක කරන අතර වෙනත අපරාධයකට සම්බන්ධදැයි තව දුරටත් පරීක්ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
(එන්.කේ.ඉන්ද්‍රවංශ විසිනි)