මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
තමන්ගේ දඬුවම් ද ලිහිල් කරන ලෙස ඉල්ලමින් මහර බන්ධනාගාරයේ සිටින මරණ දඬුවම නියම වූ රැඳවූවෝ හැත්තෑ හතර දෙනෙක් දිවා ආහාරය වර්ජනය කරමින් එම බන්ධනාගාරයේ ඊයේ (24 වැනිදා) විරෝධතාවක නිරත වූහ.
ඔවුන් ඉල්ලා සිටියේ තමන් අවුරුදු විසි ගණනක් තිස්සේ සිර දඬුවම් විඳින හෙයින් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ දඬුවමක් ලෙස ලිහිල් කරන ලෙසය.
මරණ දඬුවම හිමි වූ දිනයේ පටන් එය ජීවිතාන්ත සිරදඬුවමක් සේ සලකා තමන්ටද දඬුවම ලිහිල් කරන්නැයි ඔවුන් ඉල්ලීම් කර තිබේ.
මරණ දඬුවම නියමවූ 235 දෙනකුට එය ජීවිතාන්ත සිර දඬුවමක් බවට පත් කිරීමට නිර්දේශ අධිකරණ අමාත්‍යාංශය මගින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබිණි.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 20 දෙනකු පමණ එහි චැපල් වාට්ටුවේ වහලය මත නැගී විරෝධතාවක නිරත වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවන් 50 දෙනකු පමණ ඊයේ (24 වැනිදා) දහවල් සිට කෑම වර්ජනයකද නිරත වන බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.