www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇප අරන් එළියට ඇවිත් ඇපත් නැතිව අවසන් ගමන් ගිය රියාඩ්... රියාඩ්ගේ අභියෝගය කංජිපානිගේ ගෝලබාලයෝ බාරගනිති


2021-05-06 08:44:49 -  305 යි

‘‘උඹලා කංජිපානිගේ ගෝලයෝ වුණාට මට උඹලව ලොකු නැහැ. අපිත් කෙසෙල්වත්තේ වැඩකාරයෝ. දිනුකයා දාපු සෙල්ලං දැන් ඉවරයි. උඹලා නිකං අපි එක්ක හැප්පෙන්න එන්න එපා. අපිත් මේ ගෙන්දගම් පොළොවෙ කරක්ගහන උන්....’’

 
මොහොමඞ් රියාඞ් කෝපයෙන් කෑ ගැසුවේය. වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ මේ ගැටුම දුරදිග යන බවක් පෙනෙන්නට තිබුණේය. මොහොමඞ් රියාඞ්ගේ තර්ජන ගර්ජන හමුවේ නිහඬව නොසිටි කංජිපානි ඉම්රාන්ගේ ගෝලබාලයන් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළහ.
 
 හරි...... හරි... උඹ ඇතුළෙ ඉඳගෙනනෙ මේ හැම පාට් එකක්ම දාන්නෙ. උඹ හෙට අනිද්දා එළියට එනවනෙ. එතකොට අපි උඹ ගැන බලාගන්නම්.
 
 වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ගේ ආධාරකාරයන් මොහොමඞ් රියාඞ්ගේ අභියෝගය භාර ගත්තේය.
 
 29 හැවිරිදි වියේ පසුවූ මොහොමඞ් රියාඞ් මොහොමඞ් තස්ලිම් පිටකොටුව කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගිය රියාඞ් අවස්ථා කීපයකදීම පොලිසියට කොටුවුණේය. වැලිකඩ බන්ධනාගාරයේ වසර කීපයක් ලගින්නට ඔහුට සිදුවිය.
 
 කංජිපානි ඉම්රාන්ගේ ගෝලබාලයන් සෑහෙන පිරිසක් ද ඒ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කමින් සිටියහ. මොහොමඞ් රියාඞ් ඒ වනවිට කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පාතාල ආධිපත්‍යයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරමින් සිටියේය. රියාඞ් කංජිපාන ඉම්රාන්ගේ ගෝලබාල යන් සමඟ නිතර නිතර පැටලූණේ මේ පාතාල ආධිපත්‍යය ගොඩනඟාගැනීමේ සටන ජයග‍්‍රහණය කිරීම සඳහා ය.
 
 මාස ගණනක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මොහොමඞ් රියාඞ් ට ඉකුත් 27 වැනිදා ඇප ලැබුණේය. රියාඞ් පිටකොටුව කෙසෙල්වත්ත ප‍්‍රදේශයට නැවත ආවේ සිය ජාවාරම් නැවත කරගෙන යෑමටත්, පාතාල ආධිපත්‍යයක් ගොඩනඟාගැනීමටත් අරමුණු කරගෙනය.

රියාඞ් පරලොව යැවීම සඳහා කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන් ඒ වනවිටත් සැලසුමක් සකස් කරමින් සිටියේ බන්ධනාගාරය තුළ සිට ය.
 
 පිටකොටුව කෙසෙල්වත්ත ප‍්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන සිටි කෙසෙල්වත්තේ දිනුක ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්‍ෂයට පත් වුණේ මීට මාස කීපයකට උඩදී ය. දිනුක මිය යෑමත් සමඟම පිටකොටුව කෙසෙල්වත්ත පාතාලයේ නායකත්වය ඔහුගේ බාල සොහොයුරු දිනුෂ අතට පත්ව තිබුණේය.
 
 කංජිපානි ඉම්රාන්ගේ ගෝලබාලයන් සහ කෙසෙල්වත්තේ දිනුකගේ පාතාලයේ සාමාජිකයන් අතර ඉතාම සමීප සබඳතාවක් පැවතුණේය.
 
 රියාඞ් ඝාතනය කිරීම සඳහා කෙසෙල්වත්තේ පාතාලයේ සහාය ලබා ගැනීමට බන්ධනාගාරයේ සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන් සැලසුම් කළහ. කෙසෙල්වත්තේ දිනුකගේ ඥාති සොහොයුරකු වූ දිනුෂ අලිවත්තේ අසිත ඇතුළු පාතාල සාමාජිකයන් පිරිස දුරකථන මාර්ගයෙන් සම්බන්ධකර ගත් බන්ධනාගාරයේ සිටි කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන් රියාඞ් පරලොව යැවීමේ කොන්ත‍්‍රාත්තුව ඔවුන්ට භාර දුන්නේය.
 
 ඔය රියාඞ් කියන එකා මහ එපා කරපු එකෙක්. ඌට ඔළුව උස්සන්න දුන්නොත් උඹලටත් කවද හරි වැඬේ දෙනවා. ඒ නිසා දැන්ම ඌව අයින් කරලා දාන්න ඕනෙ. මේක අපි දෙගොල්ලන්ට ම හොඳ වැඩක්.
 
 ඉම්රාන්ගේ ගෝලයන් ලබා දුන් කොන්ත‍්‍රාත්තුව කෙසෙල්වත්තේ දිනුකගේ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින් භාර ගත්හ.
 
 අලිවත්තේ අසිත කෙසෙල්වත්තේ දිනුෂ ඇතුළු පාතාල මැරයන් රියාඞ් ඝාතනය කිරීම සඳහා සැලසුමක් ක‍්‍රියාත්මක කළහ. රියාඞ් මට්ටක්කුලිය ප‍්‍රදේශයට ගෙන්වා ඔහු කපා කොටා ඝාතනය කිරීම කෙසෙල්වත්තේ පාතාල මැරයන්ගේ සැලසුම විය.
 
 අපේ‍්‍රල් 27 වැනිදා රාත‍්‍රියේ එනම් රියාඞ් ඇප ලබා කෙසෙල්වත්තට පැමිණි දිනයේදීම ඔහු මරා දැමීමට පාතාල මැරයන් සූදානම් වූහ. එහෙත් ඒ සැලසුම ව්‍යාර්ථ වූයේ රියාඞ් ට කිසියම් සැකයක් මතු වී ඔහු මට්ටක්කුලියට නොපැමිණි නිසාය.
 
 මේ වැඬේ හරියන්නේ නැහැ. අපි කොහොම හරි මූව ගෙන්න ගන්න ඕනෙ. ඒකට හොඳ ප්ලෑන් එකක් ගහන්න ඕනෙ. කෙසෙල්වත්තේ පාතාල මැරයන් රියාඞ් ඝාතනය කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡුා කරගන්නට වූහ.
 
 රියාඞ්ගෙ ළඟම හිතවතෙක් දාලා කතා කරන්න ඕනෙ. බිස්නස් වැඩකට කියලා. කථා කළොත් මිනිහව ගෙන්න ගන්න පුළුවන්. මේ වැඬේ කල් අරින්න බැහැ.
 
 රියාඞ්ගේ සමීප සගයකු හරහා දුරකථනයෙන් කතාකර ඔහු මට්ටක්කුලියට ගෙන්වා ගැනීමට කෙසෙල්වත්තේ පාතාල මැරයෝ සැලසුම් කළහ. අපේ‍්‍රල් 29 වැනිදා සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණේය. රියාඞ් පරලොව යැවීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය වෙමින් තිබුණේය.
 
 තමන් විනාශ කිරීම සඳහා කෙසෙල්වත්තේ පාතාල මැරයන් සැලසුමක් සකස් කරගෙන සිටින බව රියාඞ් දැන සිටියේ නැත. ඔහු සුපුරුදු ලෙස සිය ජාවාරම්වල නිරත වෙමින් කෙසෙල්වත්තට වී සිටියේය. 29 වැනිදා දහවල් රියාඞ්ගේ සමීප සගයකු ඔහුට ඇමතුමක් ලබා දුන්නේය.
 
 ‘‘රියාඞ් අයියා පොඩි බිස්නස් එකක් තියෙනවා. මේක කළොත් ලක්‍ෂ ගාණක් අතට එනවා. අපි දෙන්නා එකතුවෙලා මේ වැඬේට අත ගහමු. අයියට එන්න පුළුවන්ද මාව හම්බවෙන්න.’’
 
 රියාඞ්ට තම සමීපතමයා කෙරෙහි අවිශ්වාසයක් නැත. 29 වැනිදා රාත‍්‍රියේ රියාඞ් ත‍්‍රීරෝද රථයක නැඟී මට්ටක්කුලිය ප‍්‍රදේශයට ආවේ සිය සමීපතමයා
 
 මුණගැසීම සඳහා ය.
 
 ත‍්‍රීරෝද රථය මට්ටක්කුලිය ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක් ඔස්සේ කැලණි ගඟ දෙසට ධාවනය කළේය.
 
 මුළු ප‍්‍රදේශයම ඝන අන්ධකාරයෙන් වැසී ගොස් තිබුණේය. අඳුරු මාර්ගයේ මිනිස් පුළුටක් නැත. ඒ වනවිට මධ්‍යම රාත‍්‍රියට ආසන්න වෙමින් තිබුණේය. ත‍්‍රීරෝද රථය ධාවනය වන්නේ තමන්ට අවශ්‍ය ස්ථානයට නොවන බව රියාඞ් තේරුම් ගත්තේය.
 
 ‘‘ඒයි උඹ කොහෙද මාව අරගෙන යන්නේ. යාළුව එන්න කිව්වේ මෙහෙට නෙවෙයිනේ’’ රියාඞ් ත‍්‍රීරෝද රථයේ රියැදුරුට කීවේය. ඒ වනවිට රියාඞ්ගේ සිතේ කිසියම් අනතුරක සේයාවක් ජනිත වෙමින් තිබුණේය.
 
 මට්ටක්කුලිය කැලණි ගඟ ආසන්නයේදී ත‍්‍රීරෝද රථය එකවරම නතර කළේය. තම සමීපතමයා පෙනෙන්නට නැති බව රියාඞ් දුටුවේය. ඒ වෙනුවෙන් ඝන අන්ධකාරය මැදින් කිසියම් පිරිසක් මතු වුණේය.
 
 ‘‘කංජිපානිගේ සෙට් එක මාව කොටු කරලා වගේ’’
 
 රියාඞ් තනිවම සිතුවේය. ඒ වනවිට රියාඞ් ට තවත් කළ යුතු යමක් ඉතිරිව තිබුණේ නැත. තම ජීවිතය බේරා ගැනීමට වහාම කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව තේරුම් ගත් රියාඞ් ත‍්‍රීරෝද රථයෙන් බැස ගත්තේය.
 
 කැලණි ගඟ නිසොල්මනේ ගලා බසියි. හතර අත ඝන අන්ධකාරය පැතිර ගොසින්ය. කිසිම හැල හොල්මනක් නැත. තම සගයන් කිසිවකු නැති බව රියාඞ් තේරුම් ගෙන සිටියේය. කැලණි ගඟට පැන පිහිනා ගොස් දිවි ගලවා ගන්නවා හැර කළ යුතු වෙනත් යමක් නොමැති බව රියාඞ්ට සිතුණේය.
 
 ඔහු එකවරම කැලණි ගඟට පැන පිහිනා යෑමට උත්සාහ කළේය. එහෙත් කෙසෙල්වත්තේ පාතාල මැරයන්ගෙන් රියාඞ්ට ගැලවීමක් නැත. වහාම ක‍්‍රියාත්මක වූ පාතාල මැරයන් කැලණි ගඟට පැන රියාඞ් සිය ග‍්‍රහණයට ගත්හ.
 
 කෙසෙල්වත්තේ පාතාලයේ මැරයන් හයදෙනකු තියුණු ආයුධවලින් සන්නද්ධව සිටියහ. කිසිම කතාබහක් නැත. පාතාල මැරයන්ගේ තියුණු ආයුධ රියාඞ්ගේ සිරුර පසාරු කරගෙන යන්නට වැඩි වේලාවක් ගතවුණේ නැත. රියාඞ්ගේ පලා යෑම කැලණි ගඟ පතුලේ සැඟවී ගියේය. කපා කොටා රියාඞ් ඝාතනය කළ කෙසෙල්වත්තේ පාතාල මැරයන් පලා ගියේ කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන් ලබා දුන් කොන්ත‍්‍රාත්තුව
 
 අකුරට ම ඉෂ්ටු කරමින්ය.
 
 පසුදා උදෑසන මට්ටක්කුලිය ප‍්‍රදේශයේ කැලණි ගෙඟ් පාවෙමින් තිබූ රියාඞ්ගේ මළසිරුර මට්ටක්කුලිය පොලිසිය මගින් සොයා ගත්තේය.
 
 කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් රියාඞ් ඝාතනයේ විමර්ශන ආරම්භ කළහ.
 
 රියාඞ් ඝාතනය කිරීම සඳහා පාතාල මැරයන් පැමිණ සිටි මෝටර් රථය සී.සී.ටී.වී. දර්ශන මාර්ගයෙන් හඳුනාගත් පොලිසිය ඒ ඔස්සේ සිය විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක කළෝය. දින කිහිපයක් තිස්සේ කළ විමර්ශනවලින් අනාවරනය වූයේ රියාඞ් ඝාතනයට කෙසෙල්වත්තේ පාතාල කල්ලිය සම්බන්ධ බවය.
 
 කෙසෙල්වත්තේ දිනුකගේ ඥාති සොහොයුරකුවන දිනුෂ අලිවත්තේ අසිත ඇතුළු මැරයන් හයදෙනකු රියාඞ් ඝාතනයට පැමිණි බව මට්ටක්කුලිය පොලිසිය හෙළි කරගෙන තිබුණේය. කෙසෙල්වත්තේ පාතාල මැරයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යෙදවීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා කටයුතු කළේය.
 
 මේ අතර වත්තල, හුණුපිටිය ප‍්‍රදේශයේ අවන්හලක පාතාල මැරයන් පිරිසක් මත්පැන් පානය කරමින් සිටින බවට තොරතුරක් පෑලියගොඩ කොට්ඨාස විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා වෙත ලැබී තිබුණේය.
 
 ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වී වත්තල හුණුපිටියේ පිහිටි අවන්හල වටකළහ. පාතාල මැරයන් සිවුදෙනකු මත්පැන් පානය කරමින් සිටියදී පොලිසියට කොටවන්නේ ඒ අවස්ථාවේදීය.
 
 අවන්හලේ සිටි මැරයන් අතර කෙසෙල්වත්තේ දිනුෂ ඇතුළු තවත් සිව්දෙනකු වූහ. මේ පාතාල මැරයන් සිව්දෙනා රියාඞ් ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අය බව පසුව හෙළිවුණේය. පාතාල මැරයන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිසිය වෙත භාර කෙරිණි.
 
 මේ අතර රියාඞ් ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවකුවන අලිවත්තේ අසිත පොලිසිය වෙත භාරදීමට නීතීඥයන් හයදෙනකු දැඩි උත්සාහයක නිරත වූහ.
 
 නීතීඥයන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා සම්බන්ධ කරගෙන අසිත පොලිසිය වෙත භාර දීමට උත්සාහ කළහ. එහෙත් නීතීඥවරුන්ගේ ඉල්ලීමට පොලිසිය සහාය දැක්වූයේ නැත.
 
 මේ මර්ඩර් එක සම්බන්ධයෙන් විමර්ශන තවම අවසන් වෙලා නැහැ. අපි අවස්ථාව ආවාම අසිතව අත්අඩංගුවට ගන්නම්. එතකල් මෙයා අපට අවශ්‍ය සැකකාරයෙක් නෙවෙයි.
 
 අලිවත්තේ අසිත පොලිසිය වෙත භාර දී නීතිමය වශයෙන් කිසියම් සහනයක් ලබාගැනීමට පාතාල මැරයන් ගත් උත්සාහය සාර්ථක වුණේ නැත.
 
 අවසානයේ කෙසේ හෝ අලිවත්තේ අසිත මට්ටක්කුලිය පොලිසිය වෙත භාර වුණේය. කංචිපානි ඉම්රාන්ගේ කල්ලියේ පාතාල මැරයන්ට අභියෝගකර කෙසෙල්වත්ත පාතාලයේ කිරුළු පැළඳීමට සිහින මැවූ මොහොමඞ් රියාඞ්ට කෙසෙල්වත්ත පාතාලයෙන් මරණ සහතිකය ලියා දුන්නේ ඒ ආකායටය.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කොළඹ නියෝජ්‍ය පොලිස්පති චන්‍ද්‍රකුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සී. කේ. ප‍්‍රියන්ත මහත්වරුන්ගේ උපදෙස් මත මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආසිරි, කොළඹ උතුර කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නලින් ශ‍්‍රියන්ත මහත්වරුන්ගේ මෙහෙයෙන් විමර්ශන පැවැත්වූහ.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com