www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වනජීවී නිලදරුවෙකුට ප්‍රේමයෙන් බැඳුණු විල්පත්තු කැලේ වලස් දියණියෝ


2021-04-18 11:50:36 -  442 යි

පර්සි ද අල්විස් මහතා ශ්‍රී ලංකා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂවරයෙකි. මෙරට පැරණි ම හා විශාලතම වනෝද්‍යානය වූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ පර්සි ද අල්විස් සතු වන දිවි අත්දැකීම් මහත් අපූර්වත්වයෙන් යුතු ය. විල්පත්තුව වනජීවී අභයභූමියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1905දී ය. 1938 පෙබරවාරි 25 එය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලදී. හෙක්ටයාර් 131,690ක වන උයන ගැන අතැඹුලක් සේ දැන සිටි නිලධාරියකු ලෙස පර්සි ද අල්විස් වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ ගෞරවය දිනා සිටියේ ය.

පර්සි ද අල්විස් මහතා 1970-1975 කාලය තුළ විල්පත්තුවේ අත්දැකීම් අලළා වනජීවී නිල පත්‍රිකාවල තබන ලද සටහන් ලොව වනසතුන් පිළිබඳ ආදරය දක්වන්නවුන්ට රසාලිප්ත තොරතුරු වන්නේ ය. පර්සි ද අල්විස් මහතා තැබූ සටහනකින් මෙම සත්‍ය විස්තර ඔබ වෙත ගෙන එන්නෙමු.

එකල මී කැඩීම පිණිස ගැමියන් වනෝද්‍යානයට ඇතුළු වීම සාමාන්‍ය සිදුවීමකි. දිනක් මී කැඩීමට ගිය ගැමියෙකු සිය කටයුතු අවසන් කොට මී පැණි සහිත ලබුකැටය ද, කැත්තද අතින් රැගෙන සන්ධ්‍යාවේ ආපසු එමින් සිට ඇත. ඔහු ගමන් කළ අලි පාරේ ම ඉදිරියට එමින් සිටි යෝධ වැලහින්නක උනුන් හමුවීමෙන් කලබලයට පත්ව දෙපයින් නැගී ගැමියා වෙත කඩා පැන ඇත. ඔහු අතවූ කැත්තෙන් සතාට පහරක් එල්ල කළ අතර සතා වේදනාවෙන් හඬ නගමින් පලා ගියේ ය. අතවූ ආම්පන්න ද එහිම දමා දිව ගිය ගැමියා ආපසු නොහැරී නිවසට ම ගියේ ය.

පසු දා හිමිදිරියේ ම ඔහු වනයට ගියේ ලබුකැටය සහ ආම්පන්න රැගෙන එන්නට ය. ඔහු නිශ්චිතව ම හටන සිදුවූ තැනට පැමිණියේ ය. ලබුකැටය එලෙස ම තිබූ අතර කැටය වටා කුහුඹුවන් පිරී සිටියහ. ඔවුන් ඉවත් කොට එය ගසක එල්ලූ ගැමියා නැවත මී කඩන්නට යන අදහසින් පසෙක ඈඳිගෙන බුලත් විටක් ඒ දන්නට විය. එවිට තරමක් නොදුරින් සිහින් කෙඳිරිලි හඬක් ඇසුණෙන් හෙතෙම වන බූටෑව තුළ ඉදිරියට ගොස් විපරම් කර බැලීය. එහිදී දුටු දර්ශනයෙන් ගැමියා කම්පාවට පත්විය. හිසට වැදුණු කැති පහරින් අසරණ වැලහින්න මැරී වැටී සිටියාය. මව පත් විපත නොදත් කිරි දරු වලස් පැටවුන් දෙදෙනා කෙඳිරිලි හඬ නගමින් ඇගේ තන පුඩුවලින් කිරි උරා බොමින් සිටියෝ ය.

වලස් ළපැටියන් දෙදෙනෙකු විල්පත්තු වනජීවී කාර්යාලයේ අනාථ නිවසට ලැබීමේ පූර්විකාව එසේ ය. පැටවුන් පෝෂණය කිරීම මට මහත් ප්‍රශ්නයක් විය. ඔවුන් කොපමණ කුඩා දැයි කියනවා නම් පහන් තිරයකින් කිරි පොවන්නට හුරු කර ගත්තේ ද අසීරුවෙනි. පසුව සූප්පුවක් ගැසූ බෝතලයකින් කිරි බොන්නට ඔවුන් පුරුදු විය. කිරි උරා බොන අතර ඉන් සෑහීමට පත්වූ කල මී මැස්සන්ගේ නාදයට සමාන හඬක් වලස් පැටවුන්ගෙන් නිකුත් විය. ඔවුන්ගේ සැප පහසුව සැලකූ මම මවගේ තුරුලේ පහසට සමාන වන පරිදි බෙනයක් සහිත ලී කොටයකින් තොටිල්ලක් සාදා දුන්නෙමි. නිදිමත හෝ බඩගිනි දැනුණු විට කුඩා ළමයින් මෙන් ඇඟිල්ලක් උරන්නටත් ඔවුන් පුරුදු විය. අනෙකාගේ තන සූප්පු කිරීමෙන් ද ඔවුන් තෘප්තිමත් වන බව පෙනුණි.

පැටවුන් ඉතා ඉක්මනින් හැදී වැඩිණි. දෙදෙනා ම කෙල්ලෝ ය. එකියක් අනෙකාට වඩා තරමක් ලොකු ය. එකිනෙකා ඔවුන්ට ආවේණික ගතිගුණවලින් යුතු විය. වඩා පුෂ්ටිමත් 'කළූ' මුරණ්ඩු වහා කිපෙන සුලු එකියකි. අනෙක් සුරතලිය 'සිම්බෝ' නමින් හැඳින්වූ අතර ඇය සන්සුන් ගති පැවැතුම් ඇති විනීත කීකරු එකියක වූවා ය. කල්යත් ම පැටවුන් වයසින් හා ප්‍රමාණයෙන් වැඩුණු අතර නුවණින් ද මුහුකුරා ගියේ ය. දැන් සුපුරුදු ආහාරය කිරි වෙනුවට බත් සහ පාන් ය. නිදැල්ලේ ඇවිදින ඔවුන් දෙදෙනා වනජීවී සේවක නිවාස අසල වන රොදට වැදී වේයන් හා පණුවන් ද පලතුරු ද කෑමෙන් මහත් ආශ්වාදයක් ලැබූහ.

කැලේ රවුමක් ගසා මගේ නිවෙසට පැමිණි වහාම සෑම තැන ම ඉව අල්ලමින් දුවමින් පැණි රස කෑම දුටු තැන ගිල දැමූහ. දවස පුරා ම කෑම සෙවීම නැතහොත් නිදා ගැනීම මේ පැටවුන්ගේ සිරිත විණි. ඔවුන්ට නොදැනෙන ලෙස ඔවුන් සමීපයට පැමිණියහොත් හා තද පැහැ ඇඳුමෙන් ආවොත් ඔවුන් කෝපය පෙන්වූහ. විඩාවට පත්වූ විට හා අප ඔවුන්ට තරවටු කළ විට අසල ඇති ගස් මුදුනට බඩ ගා ඇතිතෙක් නිදා ගැනීම ඔවුන්ගේ සිරිත ය. විල්පත්තු සේවක මණ්ඩලයේ සුරතලුන් බවට පත් පැටවුන් දෙදෙනාගේ ගෙලේ සීනු දෙකක් එල්ලුවේ සහජීවනය හුරුවනු පිණිස ය.

ඈත වනයේ දුර ගමන්වලට මා හා එක්වන මේ දෙදෙනාගේ ගමන අවසානය දක්වා ම රාජකාරිය වූයේ වේයන් හා පණුවන් භාරා කෑම ය. වේ හුඹසක් හමු වුවහොත් ඔවුන් එතැනින් ගැනීම අසීරුය. බොහෝ විට මා ඔවුන් එහි සිටියදී ගමනේ යෙදුණත් තනිවූ බව වැටහුණු වහා ම ඉව අල්ලමින් මා පසුපස ලුහුබැඳ ආහ. දිනක් අප කැලයට ගොස් සිටියදී ඔවුන්ට වේයන්ගේ රස බලන්නට ඉඩ දී මම සැතපුම් කාලක් පමණ ඉක්මනින් ඈතට ගොස් ගසකට නැග සැඟවුණෙමි.

වරින්වර වටපිට බලමින් පැය කාලක් පමණ වේයන් කෑ යෙහෙළියෝ හොඳ හැටි බඩ පුරවා ගත් පසු ඔවුන් තනිවූ බව වැටහී සිහින් කෙඳිරිලි හඬ නගමින් ඉව කරමින් මා ගිය මග ඔස්සේ දිව එන්නට විය. ඔවුන් කොතරම් කලබලයට පත්ව සිටියේ ද යත් මා සිටි ගසද පසුකර අඩි 30ක් පමණ ඉදිරියට දිව ගියේය. බියට පත් සුරතලියන් දෙදෙනා අතොරක් නැතිව ඉව කරමින් ගස අසල ඔබ මොබ දුවන්නට වූහ. දුක්ගැනවිල්ල තනිව ම කියමින් ගස අසල සිටින ඔවුන් ගැන මට හැඬුම් යන්නට තරම් දුක සිතිණි. මා සංඥා කළ විට මා දැක සොම්නසින් ඉපිල ගිය දෙදෙනා වහ වහා ගසට නගින්නට වූහ. ඔවුන්ගේ ආචාර සමාචාරවල විධිය දන්නා මම වහා අත්තක එල්ලී බිමට පැන ගත්තෙමි.

මෙසේ දින ගණන් මාස ගණන් ගත විය. දැන් ඔවුන් ශක්ති සම්පන්න නාඹර වියේ පසුවෙයි. මා උද්‍යානයෙන් පිටත යෑමට රිය පණ ගැන්වුවහොත් අසුරු සැණෙන් නිවෙසට දිව එති. අනිවාර්යයෙන්ම ඔවුනුත් කැටුව යා යුතුමය. මෝටර් රථයේ පසුපස අසුනේ යෑමට ඔවුන් පුරුදුව සිටියි. දෙපැත්තේ කවුලු අසල දෙදෙනාට ඉන්නට සලස්වා ඔවුන් දම්වැලකින් බැඳ තැබීමට පුරුදු වූයේ මට බාධාවකින් තොරව රිය පැදවිය හැකි පරිද්දෙනි.

දිනක් මා කොළඹ යන විට දරුවන් සඳහා මිලදීගත් රස කැවිලි, විස්කෝතු ඉදිරිපස අසුනේ තබා කිසිවක් ගැනීමට රියෙන් බැස ගියෙමි. මා ආපසු එනවිට දෙදෙනා රස කැවිලි මලු හිස් කරමින් මහා පොරයකි. ඔවුන් බැඳ සිටි අන්දමට රථයේ ඉදිරිපස අසුනට දිග නැත. ඔවුන් රස කැවිලි පාර්සල් පසුපස අසුනට ඇදගෙන තිබෙන්නේ පසුපසට හැරී පාද දික් කිරීමෙනි. ප්‍රණීත රස කැවිල්ලක ඉව වැටුණොත් එය කෙසේ හෝ ලබාගෙන මිස මේ දඟකාරියෝ සෑහීමට පත් නොවෙති.

තවත් දිනෙක දඟකාරියන් දෙදෙනාද කැටුව කොළඹ ගිය මා කිසියම් වුවමනාවක් සඳහා මෝටර් රථය මසන්ගස් වීදිය ඔස්සේ පැදවීමි. මොහොතකින් පසුපස අසුනේ සිටි කලූ දම්වැලින් මිදී ඉදිරිපස අසුනට පැමිණ වාඩි වූවාය. ඇගේ නොසන්සුන්කමෙන් කලබලයක් ඇතිවෙතැයි තරමක තිගැස්මක් මා තුළ ඇති වුවත් ඇය ටික වේලාවකින් සන්සුන්ව කොළොම්පුරේ ශ්‍රියා නරඹමින් සිටියේ ය.

'කළූ' සිටියේ ඉදිරිපස දෙඅත් ජනේලය මත තබාගෙනය. ඇගේ විනෝදයට බාධා වන බැවින් මම කවුලුවෙහි වීදුරුව ඉහළට ඔසවන්නට අදහස් නොකළෙමි. වීදියේ වාහන තදබදය නිසා රථය සෙමෙන් ධාවනය කරන්නට සිදුවිය. මා රථයේ වේගය බාල කරත් ම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් 'කළූ' එක්වර ම රියෙන් පිටතට පැන වේගයෙන් දුවන්නට වූවා ය.

ඇය දිව ගියේ මොහොතකට පෙර අප පසුකර පැමිණි පදික වේදිකාවේ වූ බොම්බයි මොටයි කරත්තයක් වෙත ය. එහිවූ රස කැවිලිවල සුවඳ ආඝ්‍රාණය වීම නිසා 'කළූ'ට උන් හිටි තැන අමතක විය. ඇය කරත්තය අසල දෙපයින් සිටගෙන නැගූ කෙඳිරිලි හඬට අඩ නින්දේ සිටි මොටයි වෙළෙන්දා අවදි වී ඇත. ඔහු සිතා ඇත්තේ 'කළූ' ඇල්ෂේෂන් බල්ලකු මොටයි කරත්තය අසල සිටින බවයි. තවත් ඇස් ඇර බලද්දී වලසෙකු බව වැටහුණෙන් වෙළෙන්දා හිස හැරුණු අත දිව යන්නට වූයේ ය. රස කැවිලි තැටියක් මහ හඬින් බිම ඇද වැටිණි. ඒ හඬට බිය වූ 'කළූ' වාහන අතරින් රිංගා පටු මාවතක් ඔස්සේ දුවන්නට වූවා ය. වලසෙකු එනවා දුටු මිනිස්සු ද ඝෝෂා කරමින් දුවන්නට වූ අතර සමහරු උස් තාප්ප මත නැග සිටි අතර තවත් පිරිස් කඩවලට රිංගා ගත්හ. 'කළූ' පසුපස ලුහුබැඳ ඇයව වඩාගත් මා රිය වෙත පැමිණෙද්දී බොහෝ පිරිස් මා පසුපස එන්නට විය. අපහසුවෙන් රියට නැග ගත් අප දෙදෙනා ඉක්මනින් පිටත් වූයේ රස කැවිලි වෙළෙන්දා කෑගසමින් දිව එනු දුටු නිසා ය.

රවුමක් ගසා ආපසු විල්පත්තුවට පැමිණි විට වලස් යුවතියෝ අපමණ සතුටින් නිදහසේ පසුවූහ. උසින් මහතින් සැපට වැඩුණු ඔවුන්ට වුවමනා කෑම ප්‍රමාණය ද දිනෙන් දින ම වැඩි විය. සේවක මණ්ඩල නිවාස අසල නිතර ගැවසුණේ රස කැවිලි අපේක්ෂාවෙනි. නිවාඩු යන අය ආපසු එන විට නොවරදවා ම මේ දෙදෙනාට පාන්, කිරි, රස කැවිලි ගෙන එන පුරුද්දක් ඇති විය. ඔවුහු මේ අක්කා නගෝ දෙදෙනාට එතරම්ම ආදරය කළහ. එසේ වුව ද අවස්ථාව ලද සැණින් සේවක නිවාසවලට රිංගා මුළුතැන්ගෙයි තිබෙන කෑම ජාති අනුභව කළහ.

දිනක් රාත්‍රී සංචාරක බංගලාවේ බිම අමුත්තන් නිදා සිටියදී ඔවුන් අතරින් ගිය 'කළූ' හා සිම්බෝ අල්මාරියක් ඇර පාන් ගෙඩියක් සහ ජෑම් බෝතලයක් ගෙන තිබේ. භාණ්ඩ පෙරළෙන හඬට අවදි වූ අමුත්තන් කෑගසද්දී ඔවුන්ට තර්ජනය කරමින් දෙදෙනා පිටව ගොස් ඇත. තවත් දිනෙක සේවක මුළුතැන්ගෙයි කෑම පිළියෙල කොට අනෙක් සේවකයන් කැඳවීමට ගොස් පැමිණෙන විට බත් මුට්ටිය හොරු ගෙන ගොසිනි. නිවෙස පිටුපස විපරම් කරද්දී දැක තිබුණේ බත් මුට්ටිය පසෙක තබාගෙන එය නිවෙනතුරු බලා සිටින වලස් නංගිලා දෙදෙනා ය.

වලසුන් නිවාසවල භාණ්ඩවලට සෑහෙන අලාභහානි කළේ ය. දොර-ජනෙල් කොපමණ ශක්තිමත්ව වැසුවත් ඔවුන්ට ඒවා විවෘත කර ගැනීමේ අපහසුවක් නොවීය. දිනපතා පැමිණිලි ආවේ කෑම ගැන නොව සිදුකළ අලාභහානි ගැනය. විසඳුම ඔවුන්ට සුදුසු වන භූමියක් සොයාදීම බව වැටහිණි. විල්පත්තු කැලයේ සැතපුම් 16ක් ඔබ්බෙන් පිහිටි කාලවිල්ලුව ඒ සඳහා වඩා යෝග්‍ය ස්ථානය බව මම තීරණය කළෙමි. අකැමැත්තෙන් වුවත් සියල්ලෝ ම එය අනුමත කළහ.

දිනක් වලසුන් දෙදෙනා ද කැටුව මම කාලවිල්ලුවට ගියෙමි. ඔවුන් සිත් සේ හුඹස් බිඳින්නට හැර සොවින් බර හදවතින් යුතුව මම මරදන්මඩුවේ නිවෙස කරා ආවෙමි. දින කිහිපයකට පසු ඒ ප්‍රදේශයේ රාජකාරි සඳහා ගිය සේවකයන්ට ද 'කළූ' සහ 'සිම්බෝ' ගැන කිසිදු හෝඩුවාවක් ලැබී තිබුණේ නැත. ඔවුන් කැලෑ ජීවිතයට හැඩගැසී ඇතැයි අපි සතුටු වුණෙමු. දින 8කට පසු රාත්‍රීයක මා නින්දේ සිටියදී කිසිවෙකු ‍දොරට තට්ටු කරන හඬින් මම අවදිවීමි. නිදියහනේ සිටිමින් ම ඒ කවුදැයි ප්‍රශ්න කළත් පිළිතුරු දෙනවා වෙනුවට ‍දොරට ගැසීම වේගවත් විය. ඒ සමග ‍දොරෙහි වීදුරුවක් මහ හඬින් බිම වැටිණි. මම වහා විදුලි පන්දම දල්වාගෙන සාලයට ගියෙමි.

'සිම්බෝ' දෙපයින් නැගී බිඳුණු කවුළුවෙන් හිස ඇතුළට දමාගෙන සිටි අතර 'කළූ'ත් එම කවුළුවෙන් ම හිස දමා ගැනීමට වෑයම් කරමින් සිටියා ය. මම වහා ඔවුන් පිළිගැනීමට ‍දොර ඇරියෙමි. ප්‍රීතියෙන් ඉපිල ගිය ඔවුන් ඉදිරි දෙපාවලින් මා බදාගෙන උණුසුම් සතුට පළ කරන්නට වූ අතර තත්ත්වය සන්සුන් වන්නට සෑහෙන කාලයක් ගතවිය. අසරණ සිත් මා විසින් රිදවන ලදැයි මා තුළ තද ශෝකයක් උපනි.

දින අටක් කැලේ ගතකොට පාඩමක් ඉගෙන ගන්නට ඇතැයි අප සිතුවත් ඔවුන් දෙදෙනාගේ දඟකාර වැඩවල කිසි අඩුවක් නොවීය. සේවක මණ්ඩලයේ ආහාර කොල්ලකෑම නැවත ඇරැඹිණි. වහා කිපෙන කේන්තිකාරියක වූ 'කළූ' නිවැරදි කිරීම අසීරුය. දම්වැලෙන් බැඳ දැමුවත් ඇය වෙර යොදා ගැලවී ගියාය. මේ දිනවල අනාථ වූ වඳුරු පැටවෙකු ද නිවෙසේ සිටියේ ය. ඌ 'සිම්බෝ' සමග සෙල්ලම් කරමින් සිටියදී 'කළූ' පැමිණ ඌට පහර දුන්නා ය. අනතුරුව වඳුරු පැටියා කටින් ගත් 'කළූ' මගේ කෑගැසීම ද නොතකා ඌද රැගෙන කැලයට ගියේ ය. ඇය නැවත පැමිණියේ වඳුරු පැටියා කා දැමීමෙන් පසුවය. ඒ සිදුවීමෙන් මගේ සිත තදින්ම පෑරිණි.

'කළූ'ට වනයේ ධර්මතාවන්ට අනුගත වන්නට ඉඩ හැරීම මිස වෙනත් විකල්පයක් නැත. මම ඇය යාල වනෝද්‍යානයේ වලසුන් වෙසෙන පෙදෙසකට රැගෙන ගියෙමි. ටින් කිරි සහ පාන් කුස පිරෙන්නට කන්නට දී මගේ ආදරයේ වෙනසක් නැති බව හැඟෙන්නට ඇය වැළඳ ගතිමි. ඇය පාන් කමින් සිටියදී මම ඇයට හොරා පලා ආවෙමි.

'සිම්බෝ' මා සමග විල්පත්තුවේ නිදහස් ජීවිතයක් ඇරැඹුවා ය. ඇය දැන් වැඩුණු වලස් තරුණියකි. ඇය 'කළූ' පිළිබඳ මතකයෙන් ඈත්ව සිටියා ය. මා සමග කැලයට යන ඇය වලසුන්ගේ ඉව ගැන සැලකිලිමත් වන බව මට දැනිණි. සුපුරුදු ලෙස වනයට ගිය සිම්බෝ දින තුනක් ගත වුවත් පෙරළා පැමිණියේ නැත. ඇයට විපතක් වීදැයි මම කලබල වීමි. එක් සැඳෑවක කල්පනාවේ නිමග්නව බංගලාවේ පියගැට පෙළ උඩ වාඩි වී සිටි මට ඉදිරිපස මාවත දිගේ සෙමෙන් නිවෙස දෙසට පියනගන වලසුන් දක්නට ලැබිණි.

මගේ ඇස් මට ම අදහාගත නොහැකි විය. මට එකවරම මතකයට ආවේ යාල කැලේ අතරමං කර පැමිණි 'කළූ'ය. ඔවුන් තවත් ළංවන විට සිදුව ඇති දේ මට වැටහිණි. ඉදිරියෙන් එන්නේ 'සිම්බෝ' ය. පසුපසින් එන්නේ ඇය විල්පත්තු කැලෙන් සොයාගත් සහකාරයා ය. ඊළඟට සිදුවන්නේ කුමක්දැයි මම සැඟවී ආශාවෙන් බලා සිටියෙමි.

දෙදෙනාම ඉදිරිපස ‍දොර දෙසට පැමිණි නමුත් ගෙට ඇතුළු වූයේ සිම්බෝ පමණි. යෙහෙළියගේ වටපිටාව ගැන සතුටු සිත් නැති මිතුරා ‍දොර අසල වාඩි වූවේ ය. තම කෑම භාජනය වෙත ගිය 'සිම්බෝ' එහි වූ කෑම කන්නට වූවාය. වලස් පෙම්වතා නොසන්සුන් සිතින් සක්මන් කරන්නට විය.

සහකරුට කෑමට ආරාධනය කරන්නට මෙන් සිම්බෝ ඔහු වෙත කිහිපවිටක් දිව ආ නමුත් ඌ එයට කැමැත්තක් පළ කළේ නැත. කෑම ගැනීමෙන් පසු මා වෙත පැමිණි සිම්බෝ සුරතල් පා නැවත පෙම්වතා වෙත ගියා ය. දින කිහිපයකට පසු ඇය නැවත පැමිණියත් පෙම්වතා ද කොඳුරමින් ඇය පසු පස ම සිටියේ ය. මා වෙත දැක්වූ ඇඟෑලුම්කම ද කෙමෙන් වියැකී ගියේය. එය හදවතට රිදුම් දුන්නත් ඇයට සුදුසු සහකරුවෙකු ලැබීම ගැන මම සතුටු වුණෙමි. තවත් සැඳෑවක වලසුන් දෙදෙනා බංගලාව පසුකර පාරේ යන අයුරු මම දුටුවෙමි.

ආලින්දයේ මා සිටින බව දුටු 'සිම්බෝ' මොහොතක් මා දෙස බලා සිට පෙම්වතාට තුරුලුව ඉදිරියට ගමන් කළා ය. ඇයට නිදහස ලබාදෙමින් පෙරදින මා ගැලවූ ඇගේ ගෙල බැඳි සීනුව වහලයේ එල්ලා තිබේ. රාත්‍රියේ මා නින්දේ සිටියදී සිහිල් පවන් වැද සිහින් සරින් නාදවන සීනු හඬ යාන්තමින් මට ඇසේ. අමතක කරන්නට වෙර දරන මගේ ආදරණීය මිතුරියන් දෙදෙනා වෙනදා මෙන් ම සඳ පහන් රැයේ මිදුලේ කෙළි දෙළෙන් පසු වනවා ඇතැයි සිතමින් මම නින්දට යමි.

උදේනි සමන් කුමාර

(විශේෂ ස්තූතිය හිටපු වනජීවී අධ්‍යක්ෂ එස්.සී. සපරමාදු මහතාට)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com