පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව විදේශ ගතවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට එරෙහිව විනය පරීක්ෂණයක් ඇරඹීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කර ඇත.
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විදේශගතවීමට පෙර රාජකාරි පිස්තෝලය හා තමාට ලබාදී තිබූ ආරක්ෂකයන් සමග ජීප් රථය ඉකුත් සිකුරාදා (22 වැනිදා) භාරදී ඇත්තේ රටින් පැනයාමේ සූදානම මත බැවින් පොලිසියේ ඉහළ නිලධාරීන් මේ බව දැනසිටි බවට තහවුරු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.
සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා කටුනායක ගුවන් තොටුපළින් පවුල පිටින්ම පිටව යනතෙක් කටුනායක රහස් පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පොලිස් මූලස්ථානයට නොදැන්වීම ගැනද එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේවාවඩු ඇතුළු කණ්ඩායමට එරෙහිව විමර්ශන අරඹා ඇත.
පොලිස් ඒකකයක ස්ථානාධිපතිවරුන් නිවාඩු ගැනීමට හා රට යාමට අධ්‍යක්ෂවරයාගෙන් අවසර ගත යුතු හෙයින් මෙම නිලධාරියාට නිවාඩු අනුමත කළේ කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශන පැවැත්වේ.