ලබන වසරේදී ණය වාරික සහ පොලිය ගෙවීමට රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බව ද අමාරුකම් විඳගෙන සෑම කෙනකුම කටයුතු කළ යුතු බව මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසුවේ ඊයේ (24දා) අඟුණකොළපැලැස්ස නිවෙසේදී පැවති තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය. මේ රටේ මිනිසුන්ට හිඟා කන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි බඩගින්නේ මැරෙන්න වෙනවා. මේ අභියෝගය ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාටත් මහින්ද රාජපක්‍ෂ මහත්මයාටත් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ යන විදියට ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. එතකොට කොහොමද අපි මේ රටේ කරන්නේ. මේවා ගැන අලුතින් හිතන්න වෙනවා. සමෘද්ධිය වැඩි කළා ලක්‍ෂ හයකට. රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් ඇතුළු කළා. මේවා නවත්වන්න බැහැ රජය වෙනස් වුණා කියලා. මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්නත් වෙනවා. මේ ඔක්කොම කරන්න අපිට ලොකු අමාරුවක් තිබෙනවා. ඒ අමාරුව විඳගෙන අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ.
අඩු තරමේ රැකියාවක් ලැබෙනකල් ගෙදර වත්ත වගා කරන්න. අපිට අවශ්‍ය මිරිස් ටික රටේ හදාගත්තත් ඇති. අවුරුද්දට වරායවල් දෙකක් හදන්න පුළුවන් මිරිස් රටින් ගේන්නේ නැතිනම්. ගුවන්තොටුපොළවල් තුනක් හදන්න පුළුවන් අවුරුද්දකට මිරිස් කන එක රටින් ගේන එක නැවැත්තුවොත්. මේ අවදානම අපි තේරුම් අරගෙන අපි එය කරන්න පටන් ගමු. ඒ ඉල්ලීම රටේ ජනතාවගෙන් ඉල්ලනවා. රටේ දේශීය නිෂ්පාදනය අපි ශක්තිමත් කරමු. රටේ ජනතාව බඩු මල්ල දිහා බලාගෙනවත් දෙනවා කියන දේ දිහා බලාගෙනවත් නොවෙයි ඡන්දය භාවිත කළේ. රට ගැන හිතලා දුන්නු ඡන්දයක් ලෙසයි අපි මේ ඡන්දය දකින්නේ. රට මුල් කරගත් ඡන්දයක් මේ රටේ ඉතිහාසයේ තිබුණා නම් අපේ සිංහල බෞද්ධකම මුල්කරගත් ඡන්දයක් ජයග්‍රහණය කළා නම් එම පළමුවැනි අවස්ථාව 16 වැනිදා තිබුණා. සමහරු ඡන්දේ දාලා ඡන්ද පෙට්ටියට වැඳලා ගිහිල්ලත් තිබුණා. සමහරු නම් සිමෙන්තිත් ගත්තා. සමහරුන්ට නිවාස ණයත් හම්බ වුණා. හැබැයි රට හදන ඡන්දය ඒ අය භාවිත කළා.ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට කිසිදු අන්තවාදියකුගේ ක්‍රියාවකට යටත් වෙන්නේ නැතිව ස්වාධීනව කටයුතු කරන්න හැකියාව තිබෙනවා. මම ඒ කාලයේදීත් කියූ දෙයක් තමයි අපිට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ආණ්ඩු කරන්න බැහැ කියන එක. අවුරුදු දෙකකට කලින් කිව්වේ. අපිට තේරුණා ඒක ගැළපෙන්නේ නැහැ. ඒ අයගේ අදහස් මේ රට ගොඩනඟන්න නෙවෙයි තිබෙන්නේ. අපි හිටපු ජනාධිපතිතුමාටත් කිව්වා මේ අයත් එක්ක ගමනක් නැහැ කියලා. අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට සහාය පළ කරන්න තීන්දු කළ දවසේ තමයි රටේ මධ්‍යස්ථව සිටි ජනතාව තීන්දු කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට සහාය පළ කරන්න.
ගෝඨාභය මහත්තයාට ලැබුණු ඡන්ද තව ලක්‍ෂ තුන හතරක් අඩුවුණා නම් සියයට පනහක් ලැබෙන්නේ නැහැ. යම් විදියකින් දෙවැනි මනාපය ගණන් කරන්න වුණා නම් ගණන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙහි සහ පොඩි පොඩි පක්‍ෂවල දෙවැනි මනාපයි. ඡන්ද ගණන් කරන්න ගිය අය දන්නවා ඒ පක්‍ෂවල අය කාටද මනාපය ගහලා තිබුණේ කියලා. ගොඩක් අයගේ දෙවැනි මනාපය තිබුණේ හංසයාට. අපිට සියයට පනහ පන්න ගන්න බැරි වුණා නම් ජනමතය අනිත් පැත්තට හැරීමේ අවදානමක් තිබුණා. උතුරු, නැඟෙනහිර ඡන්දවලින් නෙවෙයි ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කළේ. සිංහල ජනතාවගේ ඡන්දවලිනුයි. හැබැයි එහෙමයි කියලා ඒ ජන කොටස් පැත්තකට දාන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ මතය තමයි ඒ මිනිස්සුන්ටත් මේ රටේ පුරවැසියන් විදියට උදවු උපකාර කරන්න ඕනෑ කියන එකයි.
මේ රටේ නැවතත් ලේ වැගිරීම් වෙන තත්ත්වයට වෙන නායකයෝ සංවිධාන ගොඩනැඟෙන්න ඉඩ තියන්න අවශ්‍ය නැහැ. අපේ එක රටේ එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. එය පාර්ලිමේන්තුවට ගේන්න කලින් ජනාධිපතිතුමා බලයට පත් වෙද්දිම එක නීතියක් රටේ හැදීගෙන එනවා.
මඩකළපුව, කාත්තන්කුඩි පැත්තේ යනකොට හෙල්මට් දාපු මනුස්සයෙක් යන බයිසිකලයක් අපි දැක්කේ නැහැ. කිසිම විනයක් නැහැ. පාරේ වාහනයක් අරන් යන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඒ පැත්තේ ගියේ නැහැ. නමුත් ඒ අය දන්නවා නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා. ඒ පැත්තේ හෙල්මට් කඩවල හෙල්මට් ඉවරයි. මිලත් වැඩි කරලා ඒවා විකුණුවා. සමහර පැතිවලට බඩු ගේන්නේ ලංකාවේ නිෂ්පාදන නෙවෙයි. රේගුව හරහා නොවෙයි.