කාන්තා ඇඳුම් පිළිබඳ පැවැති නීතිරීති ලිහිල් කිරීමට සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පියවර ගෙන තිබේ. එම අවසරය ලබාදීමේදී සවුදියට සංචාරක වීසා මත පැමිණෙන කාන්තාවන් නවීන පන්නයේ ඇඳුම්වලින් සැරසී සිටිය යුතුය යන්න කොන්දේසියක් වශයෙන් ප්‍රකාශ වී ඇත. මේ සමග සවුදි අරාබියේ නගරවල හිසේ සිට පාදාන්තය තෙක් වැසී යන කළු ලෝගුවලින් පිරී දසුන් මැකී ගොස් නවීන ඇඟලුම් විලාසිතාවලින් විසිතුරු දසුන් මැවෙනු ඇතැයි පෙනෙන්නට තිබේ.
සංචාරක වීසා නිකුත් කිරීමට සවුදි අරාබිය ගත් තීරණය බින් සල්මාන් කුමරු එරටට හඳුන්වා දී ඇති ආර්ථික විවිධාංගීකරණ වැඩපිළිවෙළේම කොටසකි. සවුදි අරාබිය තෙල් ආර්ථිකය මත පමණක් රඳා නොපැවැතිය යුතු බව එහි අදහසය. මීට ඉහතදී එරට කාන්තාවන් අබාය සහ හිස් ආවරණය ඇඳීම අනවශ්‍ය බවට බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර තිබිණි. ඒ සමග කාන්තාවට ගැළපෙන වෙනත් ශිෂ්ට සම්පන්න ඇඳුමකින් සැරසීමට අවසරයද හිමිවිය.
නව රෙගුලාසි යටතේ සවුදි අරාබියට ඇතුළු වෙන සංචාරක කතුන් නවීන ඇඳුම්වලින් සැරසෙන බවට සහතික විය යුතුය. එසේ නොවන්නේ නම් රටට ඇතුළුවීමට අවසර නොලැබේ. එමගින් විදේශීය කාන්තාවන්ද එරට තුළදී හිසේ සිට පාදාන්තය තෙක් වැසෙන පරිදි අබාය නම් දිගු කළු ලෝගුව ඇඳීම වළක්වා ඇත. තම නිවසින් පිටතදී සියලු අරාබි කතුන් අබාය ඇඳිය යුතු බවට මීට පෙර අනිවාර්ය කර තිබිණි.
බින් සල්මාන් කුමරු හඳුන්වා දුන් මෙම නව ප්‍රතිසංස්කරණ එරට සංචාරක ප්‍රධානී අහමඩ් අල් බකීම් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. නවීන පන්නයේ ඇඳුම් යනුවෙන් අදහස් කෙරෙන්නේ කවර ස්වාභාවයේ ඇඳුම් දැයි විස්තර කෙරී නැත. එසේ වුවද, කාන්තාවට ගැළපෙන නවීන විලාසිතා අනුගමනය කිරීම වරදක් නොවන බව ප්‍රකාශ වී ඇත. අල් බකීම් මෙම රැඩිකල් තීරණය පිළිබඳ දැනුම් දෙමින් කියා සිටියේ එය ඓතිහාසික අවස්ථාවක් බවය.
මුහුදු වෙරළ වැනි ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී සංචාරක කතුන් උරහිස, දණහිස වැනි පෙදෙස් ආවරණය කර ගැනීම හැරුණු විට පෙරදී මෙන් සිරුර ආවරණය කර ගෙන සිටීම තවදුරටත් අවශ්‍ය නොවනු ඇත. එමෙන්ම මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා අවසර ලැබෙන්නේද නැත. අපි හිතන්නේ අපේ රටේ තියෙන අනෙකුත් දේවල් දැක බලා ගන්න, විඳින්න සෑහෙන සංචාරකයන් පැමිණේවි කියලා. ඒකට මත්පැන්වල අවශ්‍යතාවක් නෑ යනුවෙන් ප්‍රකාශ කරන්නේ එරට සංචාරක ප්‍රධානියාය.
සංචාරකයන් මවිත වේවි. යුනෙස්කෝ ලෝක උරුම 5න් අපේ දේශීය සංස්කෘතිය, රමණීය ස්වාභාවික සුන්දරත්වය දුටු විට ඇත්තටම ඔවුන් විශ්මයට පත්වේවි යනුවෙන් ඔහු කියා සිටියේ මීට පෙර ලෝකයට විවර නොවූ ඉඩ ප්‍රස්ථා සැලසීමේ ප්‍රතිලාභ ගැන දක්වමිනි. එමෙන්ම මෙය එරටට විශාල ආර්ථික ප්‍රතිලාභ ළඟාකර දෙනු ඇති පියවරක්ද වනු ඇති බව පැහැදිලිය.
2017 වසරේදී අරාබි කාන්තාවන්ට වාහන බලපත්‍ර ලබාදීම සිදුවිය. එතෙක් ඔවුන්ට රථවාහන පැදවීමට අවසර හිමිව නොතිබිණි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන පරිදි කාන්තාවන්ට දිනා දිය යුතු අයිතීන් අතින් සවුදි අරාබිය තවත් දුර ගමන් කළ යුතුය. තවමත් ඇයට සිය පුරුෂ භාරකරුවාගේ අවසරයකින් තොරව විවාහ වීමට, දික්කසාද වීමට හෝ රැකියාවක් කිරීමට අවස්ථාව නොලැබේ.
සංචාරක වීසා ලබාදීමේ වැඩපිළිවෙළට පූර්ව සූදානමක් ලෙස සංචාරකයන්ට එරටට පැමිණීමට තාවකාලික වීසා නිකුත් කිරීම ඉකුත් වර්ෂයේදී සිදුවිය. ඒ ක්‍රීඩා තරග හා සංස්කෘතික උත්සව වැනිදෑට සහභාගි වීම වෙනුවෙනි. ඊට පෙර සවුදි අරාබියට පැමිණෙන සංචාරක සංඛ්‍යාව අතිශයින් අවම විය. නව වෙනස්කම් යටතේ වසර 2030 වන විට වසරකට සංචාරකයන් මිලියන 10ක් ආකර්ෂණය කර ගැනීම සවුදි අරාබියේ ඉලක්කයයි.
ඊට අවශ්‍ය පහසුකම්ද මේ වන විට ඇති කරමින් තිබේ. නව සංචාරක හෝටල් පහසුකම්, සේවා උද්‍යානය සෆාරි මෙන්ම ඓතිහාසික ස්ථානවල සංවර්ධන කටයුතු ආදිය ඊට අයත්ය.
සවුදි අරාබිය මෙම නව වෙනස්කම් හඳුන්වා දුන්නේ එරට ප්‍රධාන පෙළේ තෙල් සංකීර්ණයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් සති කිහිපයක් ගත වන විටය. බටහිර රටවල් එම ප්‍රහාරය පිළිබඳ චෝදනාව එල්ල කළේ ඉරානය දෙසටය. එය කොපමණ දරුණු බලපෑමක් එල්ල කළේද යන්න පැහැදිලි වන්නේ එරට තෙල් නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩුවීමට එය බලපෑ බැවිනි. යළි සාමාන්‍ය ධාරිතාව කරා ළඟාවීමට මසක් පමණ ගත වී ඇතැයි ප්‍රකාශ විය.
නව වීසා නීති යටතේ රටවල් 49ක සංචාරකයන්ට එරටට ළඟාවීමට අවසරය ලැබී ඇත. එමෙන්ම විදේශ සමාගම්වලට එරට ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථාද සැලසී ඇත. 2030 වසර වන විට දළ ජාතික නිෂ්පාදනයේ 10%ක වර්ධනයක් මෙම වෙනස්කම් ඔස්සේ අපේක්ෂිතය.
සංචාරකයන්ට තම රටවල ඇති සවුදි තානාපති කාර්යාල මගින් ඇ.ඩො. 120ක් ගෙවා වීසා ලබාගැනීමට දැන් අවස්ථාව ලැබී ඇත. එම මුදලට සෞඛ්‍ය රක්ෂණයක් මෙන්ම සංචාරකයන්ට අවශ්‍ය උපාංග කට්ටලයක්ද අයත්ය. වෙනත් රටවල් මෙන් තවත් පහසුකම් ඊට ඉදිරියේදී එක්වනු ඇතැයි පැවසේ. සංචාරක වීසා මත මාස 3ක කාලයක් එරට රැඳී සිටීමට හැකියාව ලැබී තිබේ.
මෙතෙක් එරටට ඇතුළුවීමට සංචාරකයන්ට අවසර ලැබුණේ සීමිත වශයෙනි. ශ්‍රමිකයන් ලෙස, ව්‍යාපාරික කටයුතු සඳහා හා මක්කම මදීනා වැනි වන්දනා ගමන් සඳහාය.
තෙල් සංකීර්ණ ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක ගැටලු මතුවී නොතිබේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන සවුදි අරාබි සංචාරක ප්‍රධානියා කියා සිටින්නේ රට අතිශයින්ම ආරක්ෂිත බවය. එම ප්‍රහාරය සංචාරකයන් ගෙන්වා ගැනීමේ නව සැලසුම්වලට බලපානු නැතැයි ඔහු පෙන්වා දී තිබේ.
සවුදි කාන්තාවන් අබාය ඇඳීම අනිවාර්ය නොවන බව මොහොමඩ් බින් සල්මාන් කුමරු දන්වා සිටියේ සිය පසුගිය ඇමෙරිකා සංචාරයට පෙරාතුවය. ජනාධිපති ට්‍රම්ප් මුණගැසීමෙන් පසු ඔහු කියා සිටියේ සවුදි අරාබිය දිගු දුරක් ගෙවා නිම කර ඇති බව සහ තවත් යාමට ඇත්තේ කෙටි දුරක් බවයි.