••සාලිය ගජසිංහ ආරච්චි - කෑගල්ල
මගහැරුණු දුරකථන ඇමතුමක් ඔස්සේ හඳුනාගත් අනියම් සැමියා සමග පදිංචියට ගිය ගුරුවරියක් නිදන්නට ඇඳක් නොමැති නිසා එම පෙම්වතා සමග මුල් නිවසට විත් දරුවා නිදන ඇඳ රැගෙන ගොස් ඇති බව කෑගල්ල පොලිසිෙයන් වාර්තා වෙයි.
මෙම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ පාසලක ගුරුවරියකි. ඇගේ සැමියාද ගුරුවරයෙකි. දිනක් මෙම ගුරුවරියගේ ජංගම දුරකථනට ආ දුරකථන ඇමතුමක් මත සම්බන්ධතාවක් ගොඩනැගී ඇත.
එම සම්බන්ධතාව හසුවූ සැමියා මේ පිළිබඳ කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව දෙපාර්ශ්වයම කැඳවා විමර්ශන සිදු කෙරුණු අතර ගුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ තමන් අනියම් පෙම්වතා සමග යන බවය. ඒ අනුව ඇය නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්ව අලුත් පෙම්වතා සමග වෙනම පදිංචියට ගියාය.
එම ගුරුවරියට ස්ථානමාරුවක් ලබා ගන්නට කටයුතු කළේද පෙම්වතාය. ඒ අනුව ඇයද මාතර ප්‍රදේශයේ පාසලක රැකියාව කරයි.
අනියම් පෙම්වතා සමග ඔහුගේ නිවසට ගිය ඇයට එම නිවසේ ඇඳක් නොමැති බව දැක ඔහු සමග තමන් සිටි කෑගල්ලේ නිවසට පැමිණ තිබේ. ඉන්පසු සිය 14 හැවිරිදි දියණිය නිදන ඇඳ ද රැගෙන ආපසු ගොස් ඇත. නීත්‍යානුකූල සැමියා පැමිණ පොලිසියට පැමිණිලි කර නිවසේ ඇඳක් රැගෙන ගිය බව දැන්වීය. ඒ අනුව නැවත දෙපාර්ශ්වය කැඳවූ පොලිසිය තමන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහාත් දික්කසාද වීම සඳහාත් අධිකරණයේ සහාය ලබා ගන්නා ලෙස අවවාද කළේය. අනතුරුව ඇය තම අනියම් සැමියා සමඟ පොලිසියෙන් පිටත්ව ගියාය.