www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පැරෂුටයෙන් බිමට බසිද්දී මුහුදට වැටී මියගිය කෝප්‍රල් සාලිය


2019-09-23 09:22:06 -  1527 යි

පැරෂුටයක් දිග නොහැරීම නිසා අවාසනාවන්ත මරණයක් වාර්තාවී මසක් යන්නට මත්තෙන් කමාන්ඩෝ භටයකු පැරෂූටයකින් මුහුදට වැටී මියයාමේ සිද්ධියක් වාර්තාවී තිබේ.
දසවැනි දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කුච්චවේලි පොලිස් වසමට අයත් කුඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති එක් අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී පැරෂුටය සමඟ සුළඟට ගසාගෙන ගොස් මුහුදට වැටී දියේ ගිලී මියගියේ ගනේමුල්ල හතරවැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.එච්. සාලිය ප්‍රියන්ත (35) ය.

තවත් කොමාන්ඩෝ භට පිරිසක් සමඟ හෙලිකොප්ටර් යානයේ සිට පැරෂුට් ආධාරයෙන් බිමට පනිමින් සිටියදී ඉන් කිහිපදෙනකු සුළඟට ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති අතර එක් අයකු දියේ ගිලී මියගිය බවත් සෙසු අය පිහිනා ගොඩට පැමිණි බවත් පොලිසිය කියයි.

සාලිය ප්‍රියන්ත මහතා දෙදරු පියෙකි. චතුරිකා ලක්මාලි (33) සමඟ විවාහව සිටි මියගිය ප්‍රියන්ත මහතාට සිවු හැවිරිදි සෙනුලි ලිහාරා සහ තුන් හැවිරිදි කේ.එච්. සිතුලි බිහංසා යන දියණියන් දෙදෙනෙක් සිටිති. 

පොලිසියට ප්‍රකාශයක් ලබාදුන් මියගිය කොමාන්ඩෝ භටයාගේ බිරිය වන ආර්.ජී. චතුරිකා ලක්මාලි මහත්මිය පැවැසුවේ, මියගොස් ඇත්තේ තම ස්වාමිපුරුෂයා බවත් ඔහුට දාව දියණියන් දෙදෙනකු සිටින බවත් ඉකුත් බ්‍රහස්පතින්දා යුද අභ්‍යාසයකට ගනේමුල්ල කඳවුරේ සිට ත්‍රිකුණාමලයට යන බව තමාට දුරකථනයෙන් දැනුම් දුන් බවයි. අපි විවාහ වෙලා අවුරුදු පහක් වෙනවා. පුරුෂයාගේ සේවා කාලය අවුරුදු 12ක්.

යුද හමුදාවෙන් අපේ ගෙදරට ඉකුත් 20දා සවස හයයි හතළිස් පහට ආවා. හිටියේ තාත්තා. මම ගෙදර ආවාම තාත්තා කිව්වා මහත්තයාට වැටිලා තුවාල වෙලා කියලා. පසුව මට කිව්වා එයා මියගිහිල්ලා කියලා යැයි පැවැසුවාය. මියගිය කෝප‍්‍රල්වරයා තම

දරු පවුල තමන්ගේම නිවසක් තුළ ජීවත් වීමේ අපේක්‍ෂාවෙන් ගත කළේය. ඒ සඳහා මූලික කටයුතුද සැලසුම් කර තිබුණි. දියකාවා අභ්‍යාසයෙන් පසු සති අන්තයේ නිවසට පැමිණ තම නිවස සඳහා වැඩ ආරම්භ කිරීමට සුභ හෝරාවක් සකස් කර ගැනීමට යාමට තීරණය කොට සිටියේය.

ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු විවාහයෙන් පසු බිරිඳගේ මහගෙදර පදිංචිව සිටියේය. ඔහුගේ බිරිඳ රත්නපුර ප‍්‍රධාන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියකි. මියගිය සාලිය යුද සමයේ දෙවරක් ත‍්‍රස්ත ප‍්‍රහාර වලට ගොදුරුවී තිබේ. එහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබුවද ජීවිතය ආරක්‍ෂා විය.

 කමාන්ඩෝ භටයාගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (21දා) ත්‍රිකුණාමලය මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී අතිරේක මහෙස්ත්‍රාත් චමිලා රත්නායක මහත්මිය විසින් පැවැත්වූවාය. මියගිය සාලියගේ දේහය රත්නපුර පැල්වාඩිය ගල්ඉන්න ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස වෙත රැගෙන එද්දී විශාල පිරිසක් එහි රැස්ව සිටියහ.

කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එච්. ජානක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර වැඩිදුර විභාගය හා සාක්ෂි සටහන් කර ගැනීම ලබන 9 වැනිදා කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමට නියමිතය. 
 කෝප‍්‍රල්වරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රත්නපුර - පැල්වාඩිය ගල්ඉන්න පිහිටි පවුලේ සුසාන භූමියේදී හමුදා ගෞරවාචාර මැද අද (23දා)සිදු කෙරේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com