www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගුටි කකා වැඩ කරලත් හැමදාම කන්න දුන්නේ තක්කාලි හොදියි බතුයි , වැඩකරනකොට ගැහුව පාරට මූන තුවාල වුනා - ලංකාවෙන් කුවේට් ගිය කාන්තාවන්ගේ කඳුළු කතාව


2019-08-22 15:11:30 -  1541 යි

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එම නිවෙස් වලින් විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු , එරට සිට අද  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම පිරිස අද  දින උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

වැටුප් සහ ආහාර නොලැබීම , උදෑසන සිට රාත්‍රී වනතුරු වැඩ ගැනීම , පහර දීම් වලට ලක් වීම සහ විවිධ වධ හිංසා වලට ලක්වූවන් පිරිසක් මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබූ බව සඳහන්.

ඔවුන් තම අසීරුතා තවදුරටත් දරා ගත නොහැකිව , තමන් සේවය කරමින් සිටි නිවෙස් වලින් පැන ගොස් , කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි කාන්තාවන් පිරිසකි .
මෙම පිරිස අතර සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි නන්දාවතී මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය . 

 මම කුවේට් ගිහිල්ලා අවුරුදු එක හමාරක් වෙනවා . මම එහෙ ගෙවල් 06 ක වැඩ කළා .මම එක ගෙදරකින් ගහන කොට බනින කොට මම ඒජන්සියට දන්වනවා .

එතකොට මාව වෙනත් ගෙදරකට දානවා. ඒ ගෙදර උදවිය මට දීපු පඩි සල්ලි උදුරා ගන්නවා . පස්සෙ මට ගහන්න බනින්න පටන් ගන්නවා . ඉතිං මම ඒජන්සියට කියපුවහම තවත් ගෙදරක වැඩට දානවා . ඒ අයත් මගේ පඩි සල්ලි උදුරාගෙන මට ගගහ වැඩ ගන්නවා .පස්සෙ මාව සෞදි අරාබියේ ගෙදරකත් වැඩට දැම්මා . ඒ අයත් මට දීල තිබුණ පඩි සල්ලි උදුරාගෙන ගැහුවා. පස්සෙ මාව ආයෙත් කුවේට් වල වැඩට දැම්ම . ඒ හැම ගේකම කනවට බොනවට බනිනවා . ගහනවා .දැන් මට අදින්න ඇදුමක් වත් නැහැ .

 මීලඟ කථා කළේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි චම්පිකා පණ්ඩිත මහත්මියයි .

මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මම කුවේට් ගියේ 2017.09.09 දිනයි . මාව කුවේට් වල ළමයි බලන්න කියලයි අරං ගියේ . නමුත් මට එහෙදි බලන්න උනේ සත්තු .

ඒ ගෙදර කුකුළ්ලු , බැටලුවෝ ඇති කරනවා .මට හැමදාම කන්න දුන්නෙ තක්කලි හොදියි , බතුයි. මම බැරිම තැන , දවසක් ඒ ගෙදරින් පාන්දර 3.00 ට විතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැනල ගියා .

මම ලංකාවේ කාන්තාවන්ට කියන්නෙ , කුවේට් ගිහිං දුක් විදින්න යන්න එපා . තමන්ගේ ළමයි එක්ක තියෙන විදියට සම්බෝලයි , බතුයි කාල හරි ජීවත් වෙන්න . කියලයි .

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් 160 ක් පමණ ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් රැදිලා ඉන්නවා . යැයිද ඇය වැඩිදුරටත් සදහන් කළාය .

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඩී.එම්.සන්ධ්‍යා කුමාරි මහත්මිය ඊළගට අදහස් දැක්වූවාය .

මට ළමයි 02 ක් ඉන්නවා .මාව කුවේට් වලට යැව්වෙ කුරුණෑගල තියෙන සුප්‍රසිද්ධ ආයතනයක් .මට ඒ ගෙදරින් ගැහුවා . මේ මූණෙ තියෙන ගෙඩිය එක්ක තියෙන තුවාලෙ ඒක .මම මාස 05 ක් ඒ ගෙදර ගුටි කකා වැඩ කළා .මම බැරිම තැන කුරුණෑගල ඒජන්සියට කථා කළා . ඒජන්සියෙන් කිව්වා අපි ඔයාව කුවේට් වලට යැව්වෙ නෑ කියල .පස්සෙ මම කුවේට් වල තියෙන ඒජන්සියට කථා කළා . ඒ අයත් ගනන් ගත්තෙ නැහැ . මග ඇරියා .

 බැරිම තැන මම කුවේට් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැනලා ගියා . එතැනින් අද මාව යළිත් ලංකාවට එව්වා .

මෙම කාන්තාවන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙන බස් වියදම් ලබා ගෙන , තම ගම් බිම් බලා පිටත්ව ගියහ . 

කටුනායක ටී.කේ.ජී.කපිල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com