මම යුද හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වුණේ මගේ දරු තුන්දෙනා ගැන හිතලායි. මට ඒකෙ ප්‍රතිඵල ලැබුණා. මට මගේ ලොකු දුව රිෂානි විශ්වවිද්‍යාලයට යවන්න ලැබුණා. මගේ රත්තරන් දුව උපාධිය ලබාගත්තත් ඒ සියලු ප්‍රාර්ථනා බොඳ කරමින් මගේ ලොකු දුව අකාලයේ මරු වැලඳ ගත්තා. ඉතින් මම මේ දුක කොහොම ඉවසන්නද? බස් අනතුරෙන් මියගිය සිය දියණියගේ නිසල සිරුර බදාගෙන හඬන හේමපාල මහතාගේ ළතෝනියට ඔහුගේ නිවෙසට පැමිණ සිටි කාගේත් දෙනෙතට කඳුළු කැට ගලා එනු දැකගත හැකි විය.
කළුතර, වස්කඩුවේදී පෙරේදා (04දා) සිදුවූ බස්රථ අනතුරෙන් පිටිගල, හත්තක, මානම්පිට පදිංචිව සිටි හේමපාල මහතාට දාව ඔහුගේ බිරිය වල්පිට දෝන මානෙල්ට (49) උපන් වැඩිමහල් දියණිය වන උපාධිධාරී බංගමු හේවා අප්පු ආරච්චිගේ රිෂානි අප්සරා (29) මෙලෙස මියගොස් ඇත.
සිද්ධියෙන් දැඩි කම්පනයට පත්ව සිටි හේමපාල මහතා මෙසේද පැවැසීය.
මගේ ලොකු දුව ඉගෙනීමට හරිම දක්ෂයි. දරුවො ඉගෙනගන්න කාලයේදී අපට ආර්ථික අපහසුතා තිබුණා. මා රැකියාව කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ. මගේ වැටුපෙන් පමණක් දරුවන් තුන්දෙනාට උගන්වන්න අපහසු වුණා. ඒ නිසා මා වසර 12ක් කළ හමුදා රැකියාවට ආයුබෝවන් කියලා රැකියාවෙන් ඉවත්ව ගෙදර ඇවිත් ඉඩකඩම් වගා කළා. ඊට අමතරව රියැදුරු රැකියාව කළා. මියගිය රිෂානි දුව ඉගෙනගත්තේ ගමේ පාසලේ. ඇය පළමු වසරේ සිට උසස් පෙළ දක්වාම හත්තක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කලා අංශයෙන් උසස් පෙළට ඉදිරිපත් වී පළමු වරට ඒ සාමාර්ථ 3ක් අරගෙන උපාධිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.
දුව සමඟ විශ්වවිද්‍යාලයේදී දැනහඳුනාගත් ඉහළ වසරේ සිසුවකු සමඟ දුව සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ දෙපාර්ශ්වයේම ආශීර්වාදය ඇතිවයි. ඒ පුතාගෙ ගම නුවර. දැනට වසර 3කට පෙර ඒ පුතා උසස් අධ්‍යාපනය හැදෑරීමට ජපානයට ගියා. ඔහු මගේ දියණියටත් ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණා. මගේ දුව ඔක්තෝබර් මාසයේදී ජපානයට යෑමට සියලු කටයුතු සූදානම් කර තිබුණා.
ඒ අතර දුවගේ පාදයේ ආබාධයක් මතු වුණා. දුවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉරිදා (04දා) උදෙන්ම මාපලගම සිට එන ලං.ග.ම. බස් රථයට උදේ පාන්දර 3.45ට බිරියත් දියණියත් වත්තෙහේනෙන් බසයට නංවා මම නිවෙසට ආවා.
නිවෙසට පැමිණ උදේ 6.00ට ප්‍රවෘත්ති බැලුවා. එවිට මා දැනගත්තා ඇල්පිටිය ඩිපෝවට අයත් කොළඹ යන බස්රිය අනතුරකට ලක්වී ඇති බව.
එවිට මට දෙවියන් සිහිවුණා. මම බිරියටත් දියණියටත් ෆෝන්වලට කෝල් ගත්තා. ඒ දෙන්නගෙන්ම ප්‍රතිචාරයක් නැති නිසා කළුතර මගේ යාළුවකුට කතා කරලා නාගොඩ රෝහල ගිහින් මට තොරතුරු කියන්න කියලා මමත් කළුතර රෝහලට ගියා.
ඒ ගියහම බිරියගෙයි, දුවගෙයි මළසිරුරු දෙක දුටුවා. එදිනම සවස 5.00ට පමණ කළුතර, නාගොඩ රෝහල් මෘත ශරීරාගාරයේදී බිරියගේත් දියණියගේත් මරණ පරීක්ෂණ පැවැත්වූවා. එහිදී රෝහල් සේවකයකු විසින් මට පැකට් කරපු රන්බඩු වගයක් ගෙනැත් දුන්නා. ඒවා බිරියගේගෙල පැලැඳ තිබූ බඩු කියලයි දුන්නේ.
මගේ බිරියගේ ගෙල පැලැඳ තිබූ රන් මාලය පවුම් දෙකහමාරක චේන් එකක්. වම් අතේ පැලැඳ තිබූ මුදුව පවුම් එකක මුද්දක්. ඒ දෙකම තිබුණෙ නැහැ. මට දුන්නෙ ඉමිටේෂන් බඩු. මම ඒ වෙලාවේ හිටියේ දැඩි කම්පනයෙන්. ඒ නිසා මේ ගැන කාටවත් පැමිණිලි කළේ නැහැ.
මියගිය රිෂානි අප්සරාගේ නංගී රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. සොහොයුරා මෝටර් කාර්මිකයෙක්.
කෙසේ වෙතත් නොහික්මුණු රියැදුරකුගේ හිතුවක්කාර රිය ධාවනය නිසා රටට දැයට ඉතාම වටිනා ජීවිත රැසක් අහිමි වී ජීවිත රැසක් සදා ආබාධිත තත්ත්වයට පත්වී ඇත.
මියගිය මවගේ සහ දියණියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද දින (06දා) හත්තක පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
තල්ගස්වල, පොල්පැළකැටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි කේ.එච්.ජී. හෂාන්ද මෙම අනතුරින් මියගොස් තිබුණේ පවුලේ මුදුන් මුල අහිමි කරමිනි.
සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ හෂාන්ගේ මව වන බී. සෝමලතා (45) මහත්මිය.
මගේ මහත්තයා නෑ. පවුල රැකබලා ගත්තේ මගේ පුතා. තවත් දරුවෝ දෙන්නෙක් පාසල් යවලා තවත් එක්කෙනෙක් පෙර පාසල් යන්න සූදානම් කරලා පවුලටම කන්න බොන්න දීලා බර කරට ගත්තේ පුතා තමයි. මම වකුගඩු රෝගයකින් පීඩා විඳිනවා. පුතා ඇඹරැල්ලා විකුණන්න තමයි මේ බස් එකේ කොළඹ ගියේ. ගිහින් ඇඹරැල්ලා විකුණලා සල්ලිත් අරන් එන්නම් අම්මා දවල්ට ප්‍රෙෂර් බලන්න යන්න ලෑස්තිවෙලා ඉන්න කිව්වා. මගේ පුතා ආයේ ආවේ නෑ. මේ දුක මම කාට කියන්නද. අපිට ජීවත් වෙන්න විධියක් නෑ. ඉන්න තැනක් නෑ. පුතාගේ මිනිය තියන්නෙත් අසල්වාසියකුගේ ගෙදර. මමත් අසනීපෙන්. මේ ඉන්න දරුවන්ට යන කල මොකක්ද. අපේ ජීවිතයම එකපාරට නතර වුණා.
පිටිගල, තොටුපොළ මාවතේද මව සහ දියණියක් අනතුරට ලක්වූ අතර එහිදී මව මියගොස් දියණිය තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මියගොස් ඇත්තේ නිලූෂා තිළිණි හෙට්ටිආරච්චි මහත්මියයි. නිලූෂාගේ මව වන දයා අල්විස් ගුණතිලක (75) මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවාය.
මගේ දුව මියගිහින්. මිනිපිරියත් තුවාලවෙලා නාගොඩ ඉස්පිරිතාලේ. දුව විදේශ රැකියා ආයතනයකට යෑමට තමයි මෙම බස් රථයේ ගමන් කර තිබෙන්නේ. අනතුරින් දුව නැතිවෙලා කියලා දැනගත්තා. දුවට තව දරුවෙක් ඉන්නවා. මේ ළමයි අම්මා නැතිව ඉන්නේ කොහොමද? මම දුව නැතිව ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ.
නියාගම, පබලුව ප්‍රදේශයේ පදිංචි ඉසුරු චම්පික කරුණාරත්න (35)ද මෙහිදී ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු දරුවන් සිවුදෙනකු සිටින පවුලේ බාලයාය. ඔහු විවාහකයකු වන අතර බිරිය වන නිරංජලා සුභාෂිනී (32) අප සමඟ මේ අයුරින් අදහස් දැක්වූවාය.
මහත්තයා වැඩට යනවා කියලා ගියේ. බම්බලපිටියේ වැඩ කරන්නේ. පාන්දර බස් එකේ වැඩට යනවා. අපිට වයස අවුරුදු 2ක දරුවෙක් ඉන්නවා. වුණේ මොකක්ද දන්නේ නෑ. මාත් දරුවාත් තනිවෙලා. දරුවාට තාත්තා නැතිව ඉන්නේ කොහොමද? අපි අසරණවෙලා ඉන්නේ.
ඇති වූ මෙම ඛේදවාචකයෙන් පැලවත්ත, කුම්බදූව ප්‍රදේශයේ පදිංචි බස් රථයේ රියැදුරු වන දුලිප් රංගජීව එම ස්ථානයේදීම මියගොස් තිබිණි. ඔහුගේ මව වන සුදර්ෂිකා කුමාරි (58) මේ අයුරින් අදහස් දැක්වූවාය.
පුතා වැඩ කළේ මාපලගම-කොළඹ බස් එකේ. පුතාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙවැනි දරුවාට තාම වයස සති දෙකයි. උදේ වැඩට යනවා කියලා ගියා. අම්බලන්ගොඩ, ඇල්පිටිය බස් මාර්ගයේ වැඩ කරනවා කියලා තමයි ගියේ. ගිහින් කෝල් එකක් දුන්නා අද කොළඹ බස් එකට යනවා, ඉක්මනට ගෙදර එන්න පුළුවන් නිසා කියලා. පුතා ආයේ ආවේ නෑ. පුතා කිය කියා හිටියේ මේ රස්සාව අමාරුවෙන් කරගෙන යන්නේ කියලා. නිදි මරනවා පාරේ දුවන එක භයානකයි කියලා. පුතාගේ බිරියයි දරුවෝ දෙන්නයි දැන් තනිවෙලා. කරකියාගන්න දෙයක් නැතිව අපි ඉන්නේ.
ඇල්පිටිය - ගයාන් ගුණසේකර නියාගම - සජිත් ප්‍රියන්ත