www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් ඔසවන පය තබන්නේ ශ්‍රී ලංකාවේද?


2019-07-23 10:09:26 -  906 යි

ඇ​මරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කර ගන්නා බවට ඇමරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා එරට ජනතාවට පොරොන්දු වූයේය. එය ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ඇෆ්ගනිස්ථානය තුළ ත්‍රස්ත ප්‍රහාර වැඩිකිරීම අල්කයිඩා සංවිධානයෙන් ඊට ලැබුණු පිළිතුරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වූ පසු හමුදා ඉවත්කර ගැනීමේ ඇමෙරිකානු වැඩපිළිවෙළේ වෙනසක් සිදුවීමට එක් හේතුවක් අල්කයිඩා සංවිධානයේ යුදවාදී වැඩපිළිවෙළයි.

ලෙබනනය සිරියාව ලිබියාව යන රටවල සිදුවෙනවාට වඩා දරුණු ත්‍රස්තවාදී ක්‍රියා නිරතුරුවම ඇෆ්ගනිස්ථානයේ සිදුවේ. පසුගිය සතියේත් ත්‍රස්ත බෝම්බයක් පිපිරුණි. එයින් ද විශාල ජීවිත හා දේපොළ විනාශයක් සිදුවිය. ඒකාබද්ධ හමුදා හෙළන බෝම්බ ප්‍රහාර නිසා අල්කයිඩා සාමාජිකයින් මිය යන්නේ බුරුතු පිටිනි. රටේ ක්‍රියාත්මක වෙන අල්කයිඩා හමුදාව සිය බලයේ කිසිම දුර්වලතාවක් නොපෙන්වයි. එම සංවිධානයේ වර්තමාන නායක අයිමන් අල් සර්දාර්ගේ කතා නොයෙකුත් මාධ්‍ය හරහා ලොවේ පැතිරේ. ඒකාබද්ධ හමුදාවේ උපකාරය ඇතිව පවත්වාගෙන යන අෆ්රාෆ් ඝානිගේ හමුදාවේ සෙබළුන් 45000 කට වැඩි සංඛ්‍යාවක් ඔවුන් අතින් මිය ගොස් තිබේ. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වසරකට ඩොලර් බිලියන 45 කට වඩා වැඩි මුදලක් ඇමෙරිකාව වැය කරයි.

ඇෆ්ගනිස්ථානයේ භූගෝලීය පිහිටීම ගැන අදහස් දක්වන්නෝ එය පිහිටා ඇත්තේ මැද පෙරදිග සහ ආසියාව පාලනය කිරීමට ඉතාම සුදුසු ස්ථානයක බව පෙන්වා දෙති. අතීතයේ විසූ මහා ඇලෙක්සැන්දර් සෙනෙවියා පවා ඇෆ්ගනිස්ථානයේ සිට පෙර අපර දෙදිග පාලනය කිරීමට හැකි බව වටහාගෙන කටයුතු කළේය. ඔහු ඇෆ්ගනිස්ථානයේ ඇලෙක්සැන්ද්‍රියා නමින් නගරයක් ඉදිකළේය. එය ග්‍රීක බළකොටුවකි. ග්‍රීකයෝ මෙම බළකොටු නගරය මුල්කරගෙන කාලයක්ම කලාපය පාලනය කළහ. ග්‍රීක පාලනය අවසාන වූයේ තුර්කි ඉස්ලාම් ආක්‍රමණ හේතුවෙනි.

දෙවනි ලෝක යුද්ධයෙන් පසු සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයට ඇතුළු වී එරට පාලනය කිරීමට උත්සාහ ගත්තාය. එවිට සිදුවූයේ ඇෆ්ගනිස්ථානය නමැති රට, චීනය ඉන්දියාව ඇතුළු ආසියානු රටවලට කොමියුනිස්ට්වාදය බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත්වීමයි. එකල ඇෆ්ගනිස්ථානයෙන් හොඳ කොමියුනිස්ට් න්‍යායවාදියෝ බිහිවූහ. මේ සියලු දේ වටහාගත් ඇමෙරිකාව ප්‍රමුඛ නැටෝ හවුල ඇෆ්ගනිස්තානයෙන් සෝවියට් හමුදාව එලවීමට දැල එලූහ. ඔව්හු ඇෆ්ගන් වැසියන් අතට ආයුධ සැපයීමට පෙර වෙනත් දෙයක් කළහ. ඒ, ඇෆ්ගන් මාක්ස්වාදීන්ගේ මොළ වෙනස් කිරීමයි. ඇෆ්ගානුවන්ගේ මොළ වෙනස් වුණේ ඉස්ලාම් මූලධර්මවාදයට ගොදුරුවීමෙනි.

සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කළ පසුව ඇෆ්ගාන් මුජහදීන් හමුදාව විසිරිණි. මුජහදීන් දර්ශනයෙන් තලිබාන් නමැති ඉස්ලාමික පාලන ක්‍රමය බිහිවුණි. එය තුළ බටහිරින් ඉදිරිපත් කළ මාක්ස්වාදය මෙන්ම ඇමරිකාවෙන් ඉදිරිපත් වූ නව ලිබරල්වාදයත් ප්‍රතික්ෂේප වූයේ, ඒ සියල්ල ඉස්ලාම් ආගමට විරුද්ධ බටහිර දර්ශන වශයෙන් සැලකුණු බැවිණි. නබි තුමා ජීවත් වූ කාලයේ අරාබියේ පැවතුන සමාජයට සමාන සමාජයක් ඇෆ්ගනිස්ථානයේ බිහිකිරීමට වෙහෙසුන තලිබාන් පාලකයෝ ඇමරිකාව ආක්‍රමණිකයෙකු යැයි තීරණය කළහ. 2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝක් ලෝක වෙළඳ මූලස්ථානය ප්‍රධාන ඇමරිකාවේ ස්ථාන ගණනාවකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන්නේ ඊට දඬුවම් වශයෙනි. මෙම ප්‍රහාරයට නායකත්වය දුන් ඔසාමා බින් ලාඩන් සවුදි අරාබියේ වංශවත් පවුලක සාමාජිකයෙක් වූයේය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමරිකාව ඇෆ්ගනිස්ථානය අල්ලා ගත්තාය. ඇමරිකාවේ සහායට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක්ම එක්වූහ. ඔව්හු රූකඩ ස්වදේශික ඇෆ්ගනිස්ථාන් පාලනයක් පිහිටුවා එය යටතේ ස්වදේශික හමුදාවක් පුහුණු කිරීම ඇරඹූහ. ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින දහසක බ්‍රිතාන්‍ය හමුදාව විසින් අදටත් කරන්නේ ඇෆ්ගාන් ස්වදේශික හමුදාව පුහුණු කිරීමයි. මේ පුහුණු වෙන හමුදාව අතර තලිබාන් පාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ හිතවතුන්ගේ දූ දරුවෝ සිටිති. තලිබාන් පාලනය යටතේ ක්‍රියාත්මක වූ අල්කයිඩා සංවිධානයත් රටේ ක්‍රියාත්මක වේ. අෂ්රාෆ් ගානිගේ ආණ්ඩුව රට පාලනය කරයි. බටහිරින් බිහිකළ ඇන්ජීඕ සංවිධාන සහ කාන්තා විමුක්ති නායිකාවන් ගණනාවක් දේශපාලන සහ වෙනත් විවිධ ක්ෂෙත්‍රයන්හි කැපී පෙනෙන චරිත වී සිටිති. ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඇෆ්ගනිස්ථානයේ විදේශ හමුදා ඉවත්කර ඇෆ්ගන් රට වැසියන්ගේම පාලනයක් පිහිටුවා ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වන්නේ මොවුන් සියල්ල සමගය. කටාර්හි දෝහා නගරයේ විශේෂ සාකච්ඡා පැවැත්වේ.

ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කරගෙන එහි වැසියන්ට රටේ පාලනය භාරදීමෙන් පසුව රට තුළ නැවත වරක් තලිබාන් පාලනයක් ඇතිවීම වැළැක්වීම සිහිනයක් සමාන ක්‍රියාවකි. ඕනෑම නිදහස් රටක වැසියන්ට තමන් කැමති පාලන ක්‍රමයක් පිහිටුවා ගැනීමේ නිදහස පවතින්නේය යන බටහිර දර්ශනයට මුවාවී ඇෆ්ගනිස්ථානය තුළ තලිබාන් පාලනයක් පිහිටුවීම පහසු ක්‍රියාවකි. එවිට අදටත් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වෙන අල්කයිඩා ව්‍යාපාරය වැළැක්වීමට කිසිවෙකුට හැකිවෙන්නේ නැත. ඇමෙරිකාව ප්‍රධාන බටහිර යුරෝපා රටවල් කිහිපයට ඇෆ්ගනිස්ථානය පාලනය කිරීමට නොහැකි බව අවබෝධ වී ඇති නිසා සාම සැලසුම් ඉදිරිපත්කර රටින් පිටවී යන්නට උත්සාහ කරන බව සිතන්නෝ සිටිති.

ඇෆ්ගනිස්ථානය වැනි කලාපය පාලනය කිරීමට ඉතාම සුදුසු රටකින් ඇමෙරිකාව ඉවත්වීමට අදහස් කිරීම ඇතැම් ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයින්ට ප්‍රශ්නයකි. කලාපයේ කටයුතු මෙහෙයවීමට ඇෆ්ගනිස්ථානයට වඩා සුදුසු හා පහසු රටක් ඇමරිකාවට ලැබී ඇත්දැයි ඔව්හු ප්‍රශ්න කරති. මේ කාගේත් අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ඇමරිකාව සමග රහස් ගිවිසුම් ඇතිකරගෙන ඇතැයි දේශපාලනඥයින් ගණනාවකගෙන් චෝදනා එල්ල වී තිබේ. හම්බන්තොට වරාය චීනයට අනූනව අවුරුදු බද්දක් යටතේ පැවරීම නිසා ඇමරිකාව සහ ඉන්දියාව ලංකාවේ බින්න බැහීමට සූදානම් වී ඇති බව රජයේ ප්‍රධාන දේශපාලනඥයින්ගෙන්ම ප්‍රකාශ වී තිබේ.

ශ්‍රී ලංකාව වර්තමාන ආසියාවේ අස්ථාවරම පාලනය ඇති රට බවට පත්වෙමින් සිටී. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් සිදුවන්නේ ලංකාවේ දේශපාලන තත්ත්වය තවත් වියරු වීමයි.

ඩේවිඩ් ඇන්තනී

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com