www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුස්ලිම් කාන්තා දුක බලන්න සෙනසුරාදාට කාති උසාවියට එන්න


2019-06-17 12:04:59 -  911 යි

තරුණයනි, ඔබ අතරින් ශක්තිමත් අය විවාහපත්වන්න, එය බැල්ම පාලනය කරගැනීමටත්, රහස් අවයවයන් ආරක්ෂා කර ගැනීමටත්, ඉහවල් වේ. යැයි නබිතුමා කියයි. එවැනි ශක්තියක් නැති අයට සව්ම් සමාදන් වෙන්න යැයිද දන්වයි. නබිතුමා පවසන්නේ සව්ම් සමාදන් වීමෙන් ඔවුන්ට ආරක්ෂාවක් සැලසෙනු ඇති බවයි.

සව්ම් සමාදන්වීම යනු දෙවියන් නමැදීමය. ඉස්ලාම් ආගමට අනුව දිනකට පස්වතාවක් දෙවියන් සිහිපත් කළ යුතු වෙයි.

ඉස්ලාම් දහමෙහි කිසිදු ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හුදකලාව (අවිවාහක) ජීවත් වීම අනුමත කර නැත.

එමෙන්ම සතුට, උද්‍යෝගය සහ සැනසීම අන්තර්ගත සම්බන්ධයක් වන විවාහයට අදාළ නීති රීතිද ඉස්ලාම් දහමේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ භාවිත වන ඉස්ලාම් නීතියේ වැඩි අවධානයක් යොමු වන්නේ ද විවාහය සහ දික්කසාදය වෙනුවෙනි. 1951 අංක 31 දරන මුස්ලිම් වෛවාහක සහ දික්කසාද පනත මගින් එම මුස්ලිම් විවාහ නීතිය බලගැන්වීම සිදුවෙයි. මීට අමතරව මුස්ලිම් පුද්ගලයින්ගේ දේපොළ පවරාදීමේ කටයුතුවලදීද මුස්ලිම් නීතිය බලපැවැත්වෙයි.

රටේ පොදු නීතියක් ක්‍රියාත්මක වෙද්දී මෙලෙස එක් ජන කොටසකට පමණක් වෙනම නීතියක් ක්‍රියාත්මක වීම අද සමාජයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇත. ඒ අනුව රටේ සියලු ජනතාව වෙනුවෙන් පොදු නීතිය ක්‍රියාත්මක විය යුතු බවට මේ වන විට ප්‍රබල සංවාදයක් ගොඩනැගී තිබේ.

මෙලෙස සංවාදයට බඳුන් වී ඇති මුස්ලිම් නීතිය ශ්‍රී ලංකාව් නීති පද්ධතියේ විශේෂ නීතියක් ලෙස සැලකෙයි. මෙවැනිම විශේෂ වූ නීතියක් වේ නම් ඒ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. උඩරට නීතිය අද බොහෝ දුරට භාවිතයෙන් ඈත් වී ඇත. කෙසේ වුවද උඩරට වෙසෙන අයකුට අවශ්‍ය නම් උඩරට නීතිය අනුව විවාහ ගිවිසගත හැක. නැතහොත් ​පොදු නීතිය යටතේ විවාහ වීමටද හැකියාව තිබේ. එහෙත් ඉස්ලාම් දහම අනුගමනය කරන්නකු අනිවාර්යයෙන්ම මුස්ලිම් නීතියට අනුගතව තම විවාහය කරගත යුතු වෙයි.

විවාහය සහ දික්කසාදය සඳහා බලනොපෑවත් උතුරේ ඉඩම් සඳහා බලපාන තේසවලාමේ නීතියද එවැනි විශේෂ නීතියකි. මෙම විශේෂ නීති චාරිත්‍රානුකූල නීති යනුවෙන් ද හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ මෙම විශේෂ නීති සහ පොදු නීතිය යටතේය. පොදු නීතිය නම් රෝම ලන්දේසි සහ ඉංග්‍රීසි නීතියයි.

කෙසේ වෙතත් මෙම පොදු නීතියෙන් පාලනය නොවන මුස්ලිම් විවාහ නීතිය​ කෙරෙහි මුස්ලිම් කාන්තාව අතරින්ම බරපතළ විවේචනයක් එල්ල වී තිබේ.

මුස්ලිම් පුරුෂයින් හා කාන්තාවන් අතර ස්ත්‍රී - පුරුෂ භාවය මත පදනම් වූ අසාධාරණ සැලකීමක් පවතින බව එම කාන්තාවන් නගන තර්කයයි. තමන් මුස්ලිම් කාන්තාවක් වීම නිසාම මුස්ලිම් පුරුෂ සමාජයෙන් සහ මුස්ලිම් නීතියෙන් අසාධාරණයක් වන බව ඔවුහු කියති.

මෙය නීතිය සැමට සාධාරණ විය යුතුය යන සංකල්පය සහ නීතිය ඉදිරියේ සැමදෙනා සමානයෝය යන සංකල්පය බිඳදැමීමක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (02) යටතේ ආගම හෝ ස්ත්‍රී - පුරුෂ භාවය මත කිසිම පුද්ගලයකු විභේදනයට ලක් කළ නොහැකිය.

මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන හසානා ​​සේගු ඉසදීන් මුස්ලිම් ජාතික නීතිඥවරියකි. ඇය පවසන්නේ මුස්ලිම් නීතිය ඉස්ලාම් ආගමෙන් බැහැරව කාන්තාවන් හා ළමයින් නොසලකා හරින බවයි.

ඉස්ලාම් ආගමෙහි කාන්තාවට දක්වන සැලකීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙලෙස පුළුල් ලෙස කතා බහට ලක්වන මාතෘකාවක් වී තිබේ.

එස්.එම්. ෆාතිමා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතික ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ බිරිඳකි. ඇය දැන් සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙයි. ඇය පවසන්නේ විවාහ ජීවිතය තුළ ඇයට අනේකවිධ දුක් කම්කටොළුවලට මුහුණ පෑමට සිදුවූයේ ඉස්ලාම් දහමේ පුරුෂ කේන්ද්‍රීය නීති පද්ධතිය නිසා බවයි.

මට බොරු කියන්න අවශ්‍ය නැහැ. මුස්ලිම් කාන්තාවන් විඳින දුක සියැසින්ම දැකගන්න ඕන නම් සෙනසුරාදාට ගල්කිස්සේ තිබෙන කාති උසාවියට යන්න. මුස්ලිම් කාන්තාවන් මොනතරම් කඳුළු හලනවද කියලා එහිදී බලාගන්න පුළුවන්ෆාතිමා පවසන්නේ බොහෝ මුස්ලිම් කතුන් විඳින දුක බාහිර සමාජයට නොපෙනෙන බවයි.

එමෙන්ම ෆාතිමාගේ පළමු දරුවාගේ පළමු උපන්දිනය වන විට ඇය යළි ගැබිනියකව සිට ඇත. එය තමාගේ කැමැත්ත මත සිදුනොවූවක් බව ඇය පවසන්නීය.

එක දිගට ළමයින් පහක් හයක් හදනවා. අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතන්නේ නැහැ. ඉතින් ටික කලකින් අපි ලෙඩ්ඩු ගානට වැටෙනවා. වැහැරිලා යනවා. එතකොට පිරිමියා වෙනත් කාන්තාවක් කරා යොමු වෙනවා. ජාතිය, ආගම මොකක් වුණත් මොන ගැහැනියටද පුළුවන් මේවා බලන් ඉන්න ෆාතිමා කියන්නේ බිරිඳගේ ජීවිතය පිළිබඳ සියලු තීරණ ගන්නේ සැමියාට අවශ්‍ය ලෙස බවයි. අවසානයේ දික්කසාදය සඳහා කාති උසාවියට ගියද එතැනත් වැඩ කෙරෙන්නේ පිරිමියාට අවශ්‍ය ලෙසට බව ඇයගේ අදහස වී තිබේ.

කාති උසාවිය යනු ඉස්ලාමීය දික්කසාද නඩු විසඳන තැනයි. මෙම කාති උසාවියේ නඩු විසඳන්නන් කාතිවරුන් ලෙස හැඳින්වෙයි. කාතිවරයා අනිවාර්යයෙන්ම මුස්ලිම් පිරිමියකු විය යුතුව ඇත. කාතිවරයාගේ සුදුසුකම් සහ එම තනතුර සඳහා උගත් මුස්ලිම් කාන්තාවන්ට පත්විය නොහැක්කේ මන්ද යන්න පිළිබඳ මුස්ලිම් සමාජය තුළින්ම අද ප්‍රශ්න කෙරෙයි.

මුස්ලිම් නීතියේ මෙවැනි තහංචි පැනවෙන්නේ පොදු නීතිය යටතේ කාන්තාවන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් බවට පවා පත්වන තත්ත්වයකදීය. අනෙක් අතට ඉස්ලාම් නීතියට අනුව යම් කාන්තාවක් විවාහ කර දීමට අයිතිය ඇති තැනැත්තෙක් ද වෙයි. වලී හෙවත් භාරකරු ලෙස හැඳින්වෙන ඔහුද පිරිමියෙක්ම විය යුතුව ඇත.

මෙම විවාහයක ඇති තවත් සුවිශේෂී කාරණයක්ද වෙයි. එනම් මුස්ලිම් නීතියට අනුව විවාහයකදී මනමාලයා විසින් මනාලියට දෙනු ලබන මුදල හෝ භාණ්ඩයයි. සිංහලයින්ගේ විවාහයකනම් දෑවැද්දක් දෙනු ලබන්නේ මනාලිය විසින් මනමාලයාටය. එහෙත් මුස්ලිම් නීතියේ එය වෙනස් ස්වරූපයක් ගනී. එම මුස්ලිම් නීතියට අනුව කරන විවාහයකදී මනමාලයා විසින් මනාලියට දෙනු ලබන මුදල හෝ භාණ්ඩය හඳුන්වනු ලබන්නේ මහර් ලෙසය.

ඔබ ස්ත්‍රීන්ට ඔවුන්ගේ මහරය ලබා දෙන්න යැයි අල්කුරාණයද කියයි. තවද විවාහයෙන් පසුව මනමාලයා විසින් දිය යුතු සංග්‍රහයක් ද වෙයි. එය වලීමා නම් වේ. මෙම සංග්‍රහයේදී එක් එළුවකු හෝ ඝාතනය කර සංග්‍රහ කරන්නැයි නබිතුමාණන්ගේ උනන්දු කිරීම වෙයි.

ඉස්ලාම් නීතියේ විවාදයට පත්ව ඇති තවත් කාරණයක් වන්නේ බහු භාර්යා විවාහයයි. මුස්ලිම් පුද්ගලයකුට ​ඉස්ලාම් නීතිය අනුව ස්ත්‍රීන් හතර දෙනකු විවාහ කරගත හැකි වුවත් එය ශ්‍රී ලංකාවේ පොදු නීතිය උල්ලංඝනය කරන්නකැයි නීතිවේදීන්ගේ අදහසයි. 1907 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත රටේ සියලු පුද්ගලයන්ට අදාළය. එහෙත් ඉස්ලාම් නීතියට අනුව විවාහවන මුස්ලිම් පුරවැසියන්ට එය අදාළ නොවේ.

එපමණක් නොව නීතිවේදීන් පවසන්නේ අපරාධ නීතියට අනුව බැලුවද බහු විවාහ, අපරාධ නීතිය උල්ලංඝනය කරන්නක් බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 36 2B අනුව බහු විවාහය වසර හතක් දක්වා බරපතළ වැඩසහිතව හෝ රහිතව බන්ධනාගාරගත කළ හැකි ක්‍රියාවකි. දඩයකටද යටත් කළ හැකිය.

බහු විවාහයේදී පමණක් නොව දික්කසාදයේදීද මුස්ලිම් නීතියට අනුව කාන්තාවන්ට හිමිවන්නේ දෙවැනි තැනය. හේතුවක් නොමැතිව ඒකපාර්ශ්විකව දික්කසාදවීමේ අයිතිය සැමියාට ලබාදී ඇති මුස්ලිම් නීතිය බිරිඳකට දික්කසාදවීමේ ක්‍රියාවලිය දීර්ඝ වූවක් බවට පත්කර ඇත. අනෙක් ප්‍රධාන කාරණය වන්නේ විවාහ පත්වීම සඳහා මනාලියගේ කැමැත්ත අනිවාර්ය නොවීමයි.

කාන්තාවක් විවාහ වන වයස් සීමාව සම්බන්ධයෙන්ද මුස්ලිම් නීතියේ පැහැදිලි සඳහනක් නැත. වැඩිවිය පැමිණි ඕනෑම තරුණියක විවාහ කරගැනීමේ හැකියාව පවතී. ඇතැම් විට වයස අවුරුදු 12ට අඩු දැරියකගේ විවාහයකට පවා කාතිවරයකුට අවසර දීමේ හැකියාව ඇත.

මෙලෙස විවේචනයන්ට භාජනය වන මුස්ලිම් නීතියේ ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිවයයි. මුස්ලිම්වරුන් මුල්වරට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 8 වැනි සහ 9 වැනි සියවස්වලදීය. එම මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වෙළෙඳුන් ලෙසය. පසුකාලීනව ඉන්දියාවෙන්ද මුස්ලිම්වරුන් පැමිණ ඇති බව කියයි. එමෙන්ම ලන්දේසි පාලන සමයේදීද සොල්දාදුවන් ලෙස මුස්ලිම්වරුන් මෙරටට පැමිණ ඇත. එලෙස පැමිණියේ ඉන්දුනීසියාවෙන්ය. එසේ පැමිණි මුස්ලිම්වරුන් පාලනය වෙනුවෙන් මුස්ලිම් පුද්ගල නීතිය මෝහම්මදික යන නමින් ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන ආ බව පිළිගැනීමයි. ඒ 1770 දී පමණය. බ්‍රිතාන්‍ය යුගයේදීද මෙම මෝහම්මදික නීති ක්‍රියාත්මක වූ අතර 1801 යුක්ති සන්නය මගින්ද මුස්ලිම් ජාතිකයන්ගේ දේපොළ උරුමය, කුලිය භාණ්ඩ ගිවිසුම් සහ ගනුදෙනු මුස්ලිම් නීතිවලට අනුව සිදුවිය යුතු බව දන්වා ඇත. මෙම මෝහම්මදික නීති 1852 අංක 5 දරන ආඥාපනත මගින් ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම්වරුන්ට අදාළ වන ආකාරයට ව්‍යාප්ත කොට ඇත. නමුත් 1931දී මෙම මෝහම්මදික නීති සංග්‍රහය සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබේ.

පසුව 1951 දී මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත හඳුන්වා දීමෙන්ද 1956 මුස්ලිම් දේවස්ථාන පනත හඳුන්වා දීම මගින් ද 1931දී මුස්ලිම් අන්තිම කැමැති පත්‍රයක් රහිත අනුප්‍රාප්ති (සැමියා මියගිය පසු දේපොළ බෙදී යන ආකාරය) ආඥාපනතේ 2 වැනි කොටස අවලංගු කිරීම මගින්ද ඉස්ලාම් නීතිය ක්‍රියාවට නංවා ඇත.

මුස්ලිම් නීතිය හා රටේ පොදු නීතිය අතර ගැටීම් ඇරඹෙන්නේ අද ඊයෙක සිට නොවේ. මුස්ලිම් නීතියේ ඇතැම් කාරණා පොදු නීතියට පටහැනි බව බොහෝ නීතිවේදීහු පෙන්වා දෙන්නට වූහ. එමෙන්ම මුස්ලිම් නීතියේ ඇති පුරුෂ මූලික භාවයද එම නීතිවේදීන්ගේ අවධානයට ලක්විය. ඒ නිසාම ඒ යුගයන්හි පැවැති රජයන් මගින්ද මුස්ලිම් නීතිය සංශෝධනය සඳහා විවිධ උත්සාහයන් ගන්නට යෙදුණේය.

1954දී මෙන්ම 1964දී ද කාතිවරුන් පත් කිරීම සම්බන්ධ සංශෝධනයන් සිදු වන ලදී. එමෙන්ම 1956දී චාරිත්‍රානුකූල නීති ප්‍රතිසංස්කරණයට පත් කළ පොදු කමිටුව විකල්ප ගණනාවක් සලකා බැලුවද ඊට මුස්ලිම් ප්‍රජාවගේ විරෝධය එල්ල වීම නිසා ක්‍රියාත්මක වූයේ නැත.

1970 ආචාර්ය එම්.එම්. ඉසෙඩ් කමිටුව මගින් මුස්ලිම් දැරියන්ගේ විවාහ වයස වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් විය. එමෙන්ම මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධනයන් යෝජනා වීමද එහිදී සිදුවිය. 1984 පත් කළ කමිටුවක් විසුරුවා හරින්නට යෙදුණේ ප්‍රතිඵල රහිතවමය.

ඉන් අනතුරුව ඉතා සාර්ථක කමිටුවක් 1990දී පත් වන අතර එය ආචාර්ය ඒ.එම්.එම්. සහබ්ඩීන් කමිටුව නම් විය. එමගින් ගෙනා යෝජනා ප්‍රතිඵල රහිතව පසුපසට තල්ලු වන්නේ මුස්ලිම් දේශපාලන නායකයින්ගේ ක්‍රියාදාමයන් හේතුවෙනි.

ඉන් අනතුරුව 2005 සහ 2009 වර්ෂවලදී විවිධ කමිටු පත් කෙරෙන නමුත් මුස්ලිම් ප්‍රජාවගේ නායකයන්ගේම පවතින අඩු ලුහුඬුකම් හේතුවෙන් ඒ සියලු ප්‍රයත්නයන් ගිලිහී යන්නේය.

තුෂාර උඩවත්ත

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com