තෑගි ඔප්පුවෙන් පැවරූ කෝටි 10ක් පමණ වටිනා දේපළ ඉක්මනින් අයිති කරගැනීමට උත්සාහයක යෙදුණ ඥාති දියණියයි සැමියයි දේපළ හිමි ඥති විශ්‍රාමික ගුරුවරියව කුසගින්නේ තබා නිවෙසේ කාමරයකට දමා දොර වසා ක්‍රෑර ලෙස පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඇන්ඳාන පොලිසියට 24 දා පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
පොලුවලින් පහර දීම නිසා බරපතළ ලෙස තුවාල ලැබූ රක්වාන, පන්නිල පදිංචි විශ්‍රාමික ගුරුවරියක් වන 74 හැවිරිදි ඩී.ජී. ලීලාවතී මහත්මිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කහවත්ත රෝහලින් රත්නපුර ශික්ෂණ රෝහලට යවා ඇත.
වසර 32ක් පමණ ගුරු සේවයේ යෙදුණ තමා අවිවාහක බවත් තමාට ඉඩම් රත්රන්, මුදල් හා කෝටි 10ක් පමණ දේපළ හිමි බව ඇය පවසයි. තමා අවිවාහක නිසා දැනට පදිංචිව සිටින්නේ තමාගේ සහෝදරයෙකුගේ දියණියත් ඇයගේ පුරුෂයාත් දරුවන් දෙදෙනාත් සමඟ යැයි පැවසූ ඇය සහෝදරයාගේ දියණිය හා ඇයගේ පුරුෂයා තමාට මුල් අවස්ථාවේ සැලකූ නිසා ඇය කෙරෙහි විශ්වාසය තබා තමාට හිමි දේපළ තෑගි ඔප්පුවකින් ඇයට ලියාදුන් බව ඇය පවසන්නට වූවාය. මෑත කාලයක පටන් තම ඥාති දියණියත් ඇයගේ පුරුෂයාත් තමාට වෙනස්කම් කිරීමට පටන් ගත් බව ඇය පවසයි.
දින ගණනාවක් හරිහැටියට කෑමට ආහාර ලබා නොදුන් තම ඥාති දියණිය සිද්ධිය වූ දින ඉකුත් 24 වැනිදා සවස 2.00ට පමණ ඥාති දියණියගේ දරුවන් නිවෙසේ නොසිටි අවස්ථාවේ ඇයගේ සැමියා සමඟ තමාව කාමරයකට දමා බිමට තල්ලුකර පොලුවලින් පහර දුන් බව පවසන ලීලාවතී මහත්මිය තම දේපළවල අයිතිය ඉක්මනින් අයිතිකර ගැනීම සඳහා මෙවැන්නක් කරන්නට ඇතැයි සිතන බවත් දින ගණනක් නිසි අහරක් නැතිව කාමරය තුළ සිටියදී අසල්වාසීන්ගේ දැනුම් දීමක් අනුව නිවෙසට පැමිණි ඇන්ඳාන පොලිසියේ නිලධාරීන් කාමරයේ දොර විවෘත කර පිටතට ගෙන තමාව කහවත්ත මූලික රෝහලට ගෙන ගොස් ඇතුළත් කළ බවත් පසුව කහවත්ත මූලික රෝහලින් රත්නපුර ශික්ෂණ රෝහලට යැවූ බව වැඩිදුරටත් පැවසුවාය.
ලීලාවතී මහත්මියට ඇඳෙන් නොබසින ලෙස වෛද්‍යවරුන් ලබාදුන් උපදෙස් අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ අංක 30 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.