නන්දෙසින් පොලිස් මූලස්ථානයට වාර්තා වන බොහොමයක් මනුෂ්‍ය ඝාතන ක්ෂණික කෝපය මත සිදුවුණු ඒවාය.
සැලැසුම් සහගතව සිදුකළ මනුෂ්‍ය ඝාතනද ඒ අතර නැත්තේ නොවේ. පවුල් ආරවුල්, අනියම් සබඳතා, ඉඩම් ආරවුල්, මුදල් ගනුදෙනු ඇතුළු විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඉවසාගත නොහැකිව සිදුකෙරෙන මිනිස් ඝාතනද මේ අතර ඇත.
කෙසේ වෙතත් මේ කුමන ආකාරයෙන් පුද්ගලයකු ඝාතනය කළද අවසානයේ එම ඝාතනය සිදුකළ තැනැත්තා සිය ජීවිත කාලය පුරාම කළ අපරාධය ගැන සිතමින් පසුතැවිලි වන අවස්ථාද නැතුවා නොවේ.
මෙයද එවන් කතාවකි.
සිද්ධිය පොලිස් මූලස්ථානයට වාර්තා වන්නේ ගම්පහ, යක්කල වතුපිටිවල ප්‍රදේශයෙනි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලබන්නේ ගම්පහ මූලස්ථාන පොලිසිය මඟිනි.
සුරංග ප්‍රදීප් ද සිල්වා බැලුම්මහර, මුදුන්ගොඩ පදිංචි විවාහකයෙකි. හෙතෙම යක්කල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංගීත කණ්ඩායමක ප්‍රධානියා ලෙස කටයුතු කළ තරුණ සංගීතවේදියෙකි.
කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙසත්, සමහර අවස්ථාවලදී කණ්ඩායමේ ගීත ගායනය කිරීමටත් සුරංග කටයුතු කළේය. සුරංග කණ්ඩායමේ කාගේත් සිත් දිනාගත් අයකු වන අතර රතුපස්වල ප්‍රදේශයේ පිරිස් අතර ඔහුගේ සංගීත කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්ද තිබිණි. සංගීත සන්දර්ශන, විවාහ මංගල, ප්‍රියසාද, සමාජ ශාලාවල ගී ගැයීම් නිසා සුරංගගේ සංගීත කණ්ඩායම තරුණ පිරිස් අතර බොහෝ සේ ජනප්‍රිය වී තිබිණි.
කාලය මෙසේ ගෙවී ගිය අතර පසුගියදා, සුරංග හිටිහැටියේ අතුරුදන් විණි. ඉකුත් 3 වැනිදා යතුරුපැදියකින් සිය නිවෙසින් පිටව ගිය සුරංග එදින රාත්‍රිය තෙක් නිවෙසට නොපැමිණීම ගැන සැක සිතූ ඔහුගේ බිරිය සුරංග ආගිය අතක් නැති බව කියමින් යක්කල පොලිසියට පැමිණිල්ලක් කරනුයේ කොතැනකින් හෝ ඔහු සොයා දෙන ලෙස ඉල්ලීමක්ද කරමිනි. එහෙත් සුරංග සොයා ගැනීමට යක්කල පොලිසියට හැකි නොවූ අතර එය බිරියටද මහත් ගැටලුවක් ගෙන දුනි.
දින දෙකක් ගත වුවද සුරංග ගැන කිසිදු තොරතුරක් බිරියට දැනගැනීමට නොලැබුණු අතර, ඔහු සොයා ගැනීමට ඇය ගත් සියලු උත්සාහයන්ද අපතේ ගියේය. පස් වැනිදාට උදාවිය. බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තාරකගෙන් ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වාට දුරකථන ඇමැතුමක් ලැබිණි.
“චීෆ් ඔයාගේ ඒරියා එකේ අත්තනගලු ඔයේ මිනියක් පාවෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවා නම්…”පොලිස් පරීක්ෂක තාරකගෙන් ලැබුණු එම පණිවුඩයත් සමඟ අත්තනගලු ඔය කරා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ඇතුළු කණ්ඩායමට ඔයේ පාවෙන නාඳුනන මළ සිරුරක් දැකගත හැකි වූ අතර වහා ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කොරනල්වරයා දැනුවත් කිරීමටද නිලධාරීහු පියවර ගත්හ.
හදිසි මරණ පරීක්ෂකවරයාගේ පැමිණීමත් සමඟ ඔයේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුර ගොඩගැනුණු අතර එය හඳුනාගත නොහැකි ලෙස ඉදිමී විකෘති වී තිබුණේය. පසුව ලැබුණු උපදෙස් මත සිරුර හඳුනා ගැනීම සඳහා ගම්පහ රෝහල් මෝචරියේ සිරුර තැන්පත් කරනු ලැබීණි.
ඒ අතර පොලිසිය එම නාඳුනන මළ සිරුර ගැන සුරංගගේ බිරියද දැනුවත් කළ අතර එම දැනුවත් කිරීම මත ඇය ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයට පැමිණියද ඇයටද එකවර මියගොස් ඇත්තේ තම සැමියා බවට හඳුනාගත නොහැකි විය. පසුව මළ සිරුරේ තිබූ ඇඳුම්වලින් ඒ තම සැමියා අවසන් වරට ඇඳ සිටි ඇඳුම් බවට ඇය හඳුනා ගත්තාය.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වුණු අතර, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත සුරංගගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමුකරනු ලැබිණි. එහිදී ලැබුණේ විවෘත තීන්දුවකි. ඒ අතර, සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට තීරණය විය. සුරංගගේ සිරුර සොයා ගත්තද ඔහුගේ යතුරුපැදිය සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත. එයද නිලධාරීන්ට කිසියම් ගැටලුවක් ගෙන දුන්නේය.
සුරංග කෙසේ මියගියේද ඔහු අත්තනගලු ඔයට වැටුණාද, නැතහොත් කිසිවකු සුරංග මරා ඔයට දැමුවාද, ඔහුට පහරදී ඝාතනය කළේද, එසේත් නැත්නම් ඔහු සියදිවි හානි කරගත්තේද, ජීවිතය හානි කරන්නට තරම් ඔහුට තිබූ ගැටලුව කුමක්ද, ඔහුගේ තරහකරුවන් කවුරුන්ද, මෙවන් කරුණු රාශියක් මත සුරංගගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර එය දැනගැනීම සඳහා සුරංගගේ බිරියගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.
ප්‍රශ්න කිරීමේදී සුරංග සම්බන්ධයෙන් ඇය දැන සිටි තොරතුරු රැසක් පොලිසියට හෙළි වූ අතර එහිදී ඇගෙන් මෙවන් රහසක්ද හෙළි විය.
“එයා ඔය ගෘෘප් එකේම සිං කරන වාසල කියන කෙනාගේ නෝනා එක්කත් සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණා…”පොලිසියේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වූයේ එතැන් පටන්ය. නිලධාරීන් තව තවත් ඒ ගැන කරුණු කාරණා විමසූ අතර එම තොරතුරුවලින් අනාවරණය වූයේ වාසල නමැත්තාගේ බිරිය සහ සුරංග අතර කලක සිට තිබූ අනියම් ප්‍රේම සබඳතාව නිසා පවුල් දෙක අතරද ප්‍රශ්න මතුව තිබූ බවය.
එසේ නම් සුරංගගේ මරණයට වාසලගේ සම්බන්ධයක් තිබේද… ඔහු සුරංගගේ මරණය ගැන යමක් සඟවන්නේද, සුරංගගේ මිනිය හමුවුවත් ඔහුගේ යතුරුපැදියට වූයේ කුමක්ද.. එයත් ඝාතකයන් ඔයට දමා ඇත්ද… යන සැකකටයුතු කාරණාද ඒ සමඟම විමර්ශන නිලධාරීන්ට ඇති විය. ඒ අනුව වාසලව පොලිසියට කැඳවා ඔහුගෙන් මේ ගැන විමසිය යුතුව ඇතැයි තීරණය කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහුව පොලිසියට කැඳවන ලෙස නිලධාරීන්ට නියෝග කළේය. එම කැඳවීමට අනුව වාසල පොලිසියට පැමිණි අතර ඔහු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
“අපි සේරම හොයාගෙන ඉවරයි. සුරංගගේ මිනියත් හම්බ වුණා. ඒක හරි. දැන් කෝ සුරංගගේ බයික් එක…”සුරංගගේ මරණය ගැන කිසිදු තොරතුරක් ඒ වන විටත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සතුව තිබුණේ නැත. එහෙත් ඔහු ඒ බව නොපෙන්වමින් කිසියම් පිළිතුරක් බලාපොරොත්තුවෙන් එලෙස වාසලගෙන් විමසුවේය. වාසල කිසිවක් කරකියා ගත නොහැකිව බිරාන්ත වූයේය.
“කෝ යකෝ අරූගේ බයික් එක…”මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මහ හඩින් යළිත් වාසලගෙන් ඇසුවේය.
“සර්… ඒකත් වතුරේ ඇති…”වාසල ගත්කටටම කීවේය. බියට පත්වූ ඔහුට එසේ කියැවිණි.
“හරිනේ මම කිව්වේ… දැන් ඉතින් මෙයාව අරගෙන ගිහින් සම්පූර්ණ ස්ටෝරියම අහගන්න…”මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිය නිලධාරීන්ට එසේ පැවැසුවේ අපරාධකරුවන්ට වඩා පොලිස් නිලධාරියා දක්ෂ විය යුතු බව පැහැදිලි කරමිනි.
“උඹ කොහොමද සුරංගව හඳුනන්නේ…”වාසලගෙන් ප්‍රශ්න අරැඹුණේ එතැන් පටන්ය.
“මම එයාව හඳුනාගත්තේ වෙඩින් එකකදී. එයා තමයි වෙඩින් එකේ මියුසික් ගෘෘප් එක ප්ලේ කළේ. මමත් එදා සින්දු දෙක තුනක් කිව්වා. එයා මට කිව්වා හොඳට සිං කරන්න පුළුවන්නේ… ඇවිත් එයාගේ ගෘෘප් එකේ සිං කරන්න කියලා. එදා මම මගේ වයිෆුත් එක්ක තමයි වෙඩින් එකට ගිහින් හිටියේ. මමත් හරි ආසයි මියුසික්වලට. පස්සේ අපි දෙන්නම සුරංගගේ ගෙදර ආවා ගියා. හිතවත් වුණා. මට එයාගේ ගෘෘප් එකේ සින්දු කිව්වා. මගේ වයිෆුත් ඒ හැම එකටම ගියා. සුරංගත් අපේ ගෙදර ආවා ගියා.”වාසල සිය මිතුරා සුරංගව දැන හැඳිනගත් ආකාරය නිලධාරීන් ඉදිරියේ එසේ හෙළි කරන්නට විය. එලෙස ඇති වූ දැනහැඳුනුම්කම අවසන් වන්නේ සුරංග වාසලගේ තරුණ බිරිය සමඟ අනියම් සබඳතාවකටද මුල පුරමිනි. වැඩි කලක් යන්නට මත්තෙන් වාසලටද එය දැනගන්නට ලැබුණේය. එහෙත් ඊට වාසල මුකුත් කීවේ නැත.
“තැන් තැන්වල ඉඳලා මට ලැජ්ජා කරන්න එපා සුරංගට ගෙදරට එන්න කියන්න.”බිරියට සිය සැමියාගෙන් ලැබුණේ එවන් අනපේක්ෂිත පිළිතුරකි. එදා පටන් සුරංග වාසලගේ නිවෙසට පැමිණ ඔහුගේ බිරිය සමඟ සතුටින් හැසිරෙන්නට විය. ඊට වාසලගෙන් කිසිදු විරෝධතාවක් නොවීය. වාසල පවසන විධියට මාස දෙකක් පමණ සුරංග ඔහුගේ බිරිය සමඟ එසේ හැසිරී තිබිණි.
“දැන් ඔය සම්බන්ධය ඇති. ඒක දැන් නවත්වන්න. වාසල දවසක් සිය බිරියට කීවද ඇය ඊට කැමැත්ත පළ කළේ නැත.
“මට ඒ දෙන්නා ගැනම කලකිරීමක් ඇති වුණා. මම පුළුවන් තරම් උත්සාහ කළා බිරියව යහමඟට ගන්න. හොඳින් ඉන්න අපට දරුවො නැහැ. ඒත් එයා මම කියන දේ ඇහැව්වේ නැහැ. එයා මටත් වෙනස්කම් කළා. අන්තිමට මම සුරංගගේ බිරියටත් මේ ගැන කිව්වා.” දුරකථන ඇමැතුමක් දී ප්‍රේම සම්බන්ධය නතර කරන බවට සුරංගට පවසන ලෙස දිනක් වාසල සිය බිරියට කීවේය. ඒ අනුව ඇය සුරංගට ඇමැතුමක් ගත්තාය. වාසල දෙදෙනා අතර කතාබහ අසා සිටියේය.
“සුරංග අපි දෙන්නා මේ සම්බන්ධය නතර කරමු.”වාසල ඇමැතුම අසා සිටින බව සුරංග දැන සිටියේ නැත.
“හරි එහෙනම් අදින් පස්සේ මමත් මියුසික් කරන්නෙත් නැහැ. ඒකත් නතර කරනවා.”වාසලට සුරංගගේ කතාව ඇසුණේය.
“මියුසික් නවත්තන්න එපා. ඔයා මෙහෙ එන්න..”වාසල සිය බිරිය සමඟ ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගිය මිතුරාට දුන්නේ එවන් පිළිතුරක්ය.
ඒත් වාසල ඉන් පසුවද සුරංග සමඟ ඇති සබඳතාව නතර කරන ලෙස බිරියට කීවේය. එය අවසන් වුණේ තවත් ගැටුමකට මුල පුරමින්ය.
“අන්තිමේදී බිරිය මාත් එක්ක තරහ වෙලා එයාගේ අම්මලගේ ගෙදරට ගියා. මේ වෙනතුරු එයා අපේ ගෙදර ආවේ නැහැ. ඒත් සුරංගගේ සම්බන්ධය නතර වෙලත් නැහැ. මම ගෙදර එන්න කිව්වට ආවෙත් නැහැ. මම ඒ හැම දෙයක්ම පියල්ට කිව්වා. එයා තමයි මට කිව්වේ ගිය දේවල් අමතක කරලා හොඳින් ඉන්න කියලා. පස්සේ මම පියල් එක්ක එකතුවෙලා මගේ ව්‍යාපාර කරගෙන ගියා”පියල් සහ වාසල මිතුරෝ වෙති. වාසලට සිදුවූ හැම දෙයක්ම පියල්ට කීවේය. ඒනිසා පියල් මෙන්ම වාසලද සුරංග සමඟ සිටියේ කිසියම් තරහකින්ය.
මේ අතර වාසලගේ බිරියටද තම අනියම් පෙම්වතා වූ සුරංග ගැන තවත් අසුබ ආරංචියක් දැනගන්නට ලැබුණාය. ඒ ඔහු සංගීත කණ්ඩායමට අලුතින් එක්වූ තරුණියක සමඟද ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බවක්ය.
එයද මෙම ආරවුල් දුරදිග යෑමට තවත් හේතුවක් විය. එම තරුණිය සතුව ස්කූටි වර්ගයේ යතුරුපැදියක් තිබිණි. එය නිතරම පැද්දේ සුරංගය. සුරංග අතුරුදන් වන දාද ඔහු පැදගෙන ගොස් තිබුණේ ඇගේ ස්කූටි යතුරුපැදියයි. ආරවුල් කොතෙක් තිබුණද සුරංග සිය සංගීත කණ්ඩායම සාර්ථක ලෙස පවත්වාගෙනද ගියේය.
වාසල, සුරංගට බොහෝ උදවු කළ අයෙකි. ඒ වාසල සංගීතයට තිබූ ආශාව නිසාය. ඒ නිසා සුරංග තම ගෙදරට යන එනවාට තම බිරිය සමඟ ඇසුරු කරනවාට ඔහු විරුද්ධ වූයේ නැත. ඔහු සියල්ල දැක නිහඬව සිටියේය. එහෙත් සුරංග තම බිරියට අමතරව සංගීත කණ්ඩායමේ යුවතිය සමඟ පවත්වාගෙන යන ප්‍රේම සබඳතාවට වාසල එතරම් කැමැති වූයේ නැත. මේ නිසා වාසල සිටියේ දැඩි කනස්සල්ලෙනි.
ඒ ඉකුත් 3 වැනිදාය. වේලාව සවස 4ට පමණ ඇත. වාසලත් පියලුත් ගරාජයට වී බියර් බෝතල කිහිපයක් හිස් කරමින් සිටියහ. ඒ ගරාජයේ වැඩ කරන අතරය. වාසලගේ ගෝලයාද ටින්කරින් වැඩවල නිරත විය. ටින්කරින්වලට ගෙනා වෑන් රියක්ද ගරාජයේ විය. ඒ අතර සුරංග ස්කූටි යතුරුපැදියකින් ගරාජයට ආවේය.
“පොඩි වැඩක් කරගන්න තියෙනවා…”සුරංග එසේ කියත්ම වාසල ඒ අතරට පැන්නේය.
“දැන් කොහොමද ලව් එක…”වාසල සුරංගගෙන් විමසුවේය.
“කතා කරන්නෙත් නැහැ. මගේ ෆෝන් නොම්මරේත් බ්ලොක් කරලා. උඹලා බියර් ගහනවද..”සුරංග ඇඟට පතට නොදැනෙන ලෙස වාසලට කීවේය.ඒ කතාව ඇසූ පියල්ට යකා නැග්ගේය.
ඔහු වාසලගේත්, සුරංගගේත් කතාවට මැදිවිය.
“මොනවද බං බලු වැඩ කරන්නේ උඹට ඔච්චර උදවු කරපු මුගේ ගෑනිත් උඹ අරගෙන ගියානේ. බලු වැඩ කරන්න එපා යකෝ…”පියල් ඒ වන විට සිටියේ පදමට රත්වීය. පියල්ගේ වචනයෙන් සුරංගට යකා නැග්ගේය.
“උගේ ගෑනිත් එක්ක මං හිටියම උඹට තිබෙන අමාරුව මොකක්ද. උගේ ගෑනි විතරක් නෙවේ මට හිතුණොත් උඹේ ගෑනිත් එක්කත් මම ඉන්නවා…”ඒ වචනත් සමඟ පියල්ගේ කෝපයද ඉහවහ ගියේය. ඔහුගේ අතට හසුවූයේ ගරාජයේ තිබූ ත්රීවීලරයකින් ගැලවූ කික් පොල්ලය. ඔහු පොල්ලෙන් දෑතබදා සුරංගගේ හිසට පහර එල්ල කළේය. සුරංග කපාපු කෙසෙල් ගහක් මෙන් බිම ඇදවැටුණේය. ඒ සැණින් පියල් වාසල වෙත හැරුණේය.
“උඹේ තරහත් පිරිමහගන්න මූට ගහපන්…”පියල් කික් පොල්ල වාසලට දුන්නේය. වාසලද බිම වැටී සිටි සුරංගගේ හිසට වැරෙන් පහර ගැසීය. සුරංග එතැනම අවසන් හුස්ම හෙළීය. පියල් වටපිට බැලීය. ගරාජයේ සිටි ගෝලයා මේ බව දකින්නට ඇති බව ඔහුට සිතුණේය.
“මෙතැන රුපියල් හාරදාහක්ම ඇති. අද වැඩ කළා ඇති. උඹ දැන් ගෙදර පලයන්. මම උඹට කෝල් එකක් දෙන්නම්…”පියල් හා වාසල එකතු වී ගෝලයාවද ගෙදර යැවීය.
“දැන් මොකද කරන්නේ…”
“අපි තව බියර් දෙකක් ගෙනත් ගහමු…”සුරංගගේ මළ සිරුර අසලටම වී දෙදෙනා යළි බියර් පානය කරන්නට වූහ.ටිකෙන් ටික අඳුර වැටෙන්නට විය.
“අපි මූගේ මිනිය කොහේට හරි ගිහින් දාමු. නැත්නම් අපි දෙන්නම මේකට මාට්ටු වෙයි…”
“කොහේටද දාන්නේ”
“කොහේ හරි දාමු බං…”ගරාජයේ තිබූ විශාල ඉටි කවරයකට සුරංගගේ මළ සිරුර දැමූ ඔවුහු එය ගරාජයේ පැත්තක තිබූ වෑන්රියට දමාගත්හ. ඉන්පසුව සුරංග පැමිණි ස්කූටියද වෑන් රියටම පටවා ගැනිණි. වාසල සුක්කානම අතට ගත්තේය. පියල් ඉදිරිපස අසුනට බර විය.
“අපි යක්කලින් කිරිඳිවැල පාර දිගේ ගියා. නෙල්ලිගහමුල පැත්තටත් ගියා. ඒත් මිනිය දාන්න තැනක් හමුවූයේ නැහැ. පස්සේ දාරලුව පාලම ළඟට ඇවිත් පියලුයි මමයි එකතු වෙලා සුරංගගේ මිනිය පාලමෙන් ගඟට දැම්මා. ඒ හරියේ කිඹුල්ලු ඉන්නවා. මිනිය දැම්මේ කිඹුලන්ට කන්න. පස්සේ සුරංග ආව බයික් එකත් අපි දෙන්නම එකතු වෙලා උස්සලා ගඟට දැම්මා.”වාසල පොලිසිය හමුවේ කීවේය.
“ඊට පස්සේ මොකද වුණේ…”පොලිස් ස්ථානාධිපතිවරයා වාසලගෙන් විමසුවේය.
“ඉන්පස්සේ මගේ ගෙදර ඇවිත් අපි ආයෙත් බියර් බිව්වා. එහෙම බිබී ඉන්නකොට අර ගෘෘප් එකේ ගෑනු ළමයා අපේ ගෙදරට ආවා. සුරංගව හොයාගෙන. කෝ බයික් එක කියලත් ඇහැව්වා. අපි කිව්වා අපි දන්නේ නැහැ කියලා.”
“හරි දැන් උඹට බයික් එක ගඟට දාපු තැන පෙන්නන්න පුළුවන්ද..?”නිලධාරීන් වාසලගෙන් විමසුවේය.
“පුළුවන් සර්…”නිලධාරීන් ඔහුව රැගෙන අත්තනගලු ඔයට යන්නේ ඉන් පසුවය. ඔහු සුරංගගේ සිරුර ගඟට දැමූ තැන පෙන්වමින් කීවේ සුරංගගේ යතුරුපැදියත් දැම්මේ එතැනින් බවය. පසුව සිද්ධිය නාවික හමුදාව වෙත දැනුම් දීමෙන් අනතුරුව කිමිදුම්කරුවන් මාර්ගයෙන් එම යතුරුපැදියද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.
“ඊට පස්සේ අපි ඒ වෑන් එකෙන්ම අනුරාධපුරයට ගියා. එහෙ ගිහින් පැය ගාණක් ඉඳලා ආයෙත් ගෙදර ආවා…”වාසල පොලිසිය හමුවේ පවසන්නට විය.
ඔහුගේ ප්‍රකාශය මත පියල් අත්අඩංගුවට ගැනුණේ ඉන්පසුවය. ඔහුද සිද්ධිය නිලධාරීන්ට කීවේය. ඒ, බොරු කියන්න ගියොත් වන දේ දන්නා නිසාය. ඒ වන විට වාසල සිද්ධිය එකක් නෑර පොලිසියට කියා තිබුණු බවද පියල් දැන සිටියේය.
පොලිසිය එතැනින් විමර්ශන නතර කළේ නැත. වාසලගේ බිරිය මෙන්ම 26 හැවිරිදි තරුණියද පොලිසියට කැඳවා ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගත්තේය. වාසලගේ බිරිය සිද්ධිය එකක් නෑර කීවද සැමියා කිසිම දිනෙක සුරංග මරා දමාවි යැයි තමා නොසිතන බවද ඇය කීවාය. ඒ වාසල සුරංගට කැමැති අයෙක් වූ නිසාත් ඔවුන්ගේ ඇසුරටද වාසල අකැමැති නොවූ නිසාත් වන්නට ඇත.
සුරංගගේ මරණය ඒ අනුව ඝාතනයක් විය. සිද්ධිය සම්බන්ධයෙන් වාසලත්, පියලුත් අත්අඩංගුවට ගැනීමෙන් පසු සුරංගට පහර දුන් කික් පොල්ලද නඩු භාණ්ඩයක් ලෙස සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කළේය.
වැළලී යන්නට ඉඩ තිබූ තවත් මනුෂ්‍ය ඝාතනයක් අනාවරණය වූයේ එලෙසින්ය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් තුළ තිබූ සහජ විමර්ශන හැකියාව නිසාය.
අනතුරුව සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
“අපි මරන්න හිතාගෙන නෙවේ සර් ගැහැව්වේ.”දෙදෙනාම නිලධාරීන් ඉදිරියේ පසුතැවිලි වූහ. ඒත් කළයුතු දෙයක් පොලිසියට නොවීය. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මිතුරන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.