ඊට කලින් දෙතුන් වතාවක් මැසේජ් කරලා තිබුණ කෙනෙක් නිසා සහ එක දිගට නොනවත්වාම කෝල් ගන්න නිසා වෙලාව ගැන නොහිතාම ආන්සර් කළා.
‘‘මිස් මම මයුරි (සැබෑ නම නෙමෙයි)
මට තවත් ජීවත් වෙන්න බැහැ. අර මං එදා ඔයාට කිව්වෙ, යාළුවෙලා හිටපු කොල්ලා මට වද දෙනවා, මාව බ්ලැක් මේල් කරනවා. මේවා ගෙවල්වලට කියන්න බැහැ, මම කෝච්චියට පනිනවා අනේ.. දැන් හිටියා ඇති.’’
‘‘දැන් ඔයා කොහෙද ඉන්නේ?’’
‘‘ෆෝන් එකත් අරන් ගෙදරින් එළියට බැස්සා.’’
‘‘හා හරි. මැරෙන්න නම් ඕන වෙලාවක බැරියෑ, කෝච්චිය එනකන් අපි ටිකක් කතා කරමුකෝ. හැබැයි ෆෝන් එක කට් කරන්න එපා.’’
මේ වචන ටික කටින් එළියට පැන්නට හිත ඇතුළෙන් මටත් ඒ වෙලාවෙ ලොකු බරක් නොදැනුණා නෙමෙයි.
අවුරුදු ගානක් ආදරේ කරපු පිරිමියා ,සම්බන්දේ නැවතුනාට පස්සෙත් තමන්ගේ නිරුවත් පොටෝ පෙන්නලා ප්‍රයෝජන ගන්න හදන එක තමයි වෙලා තිබ්බේ .
බොරැල්ල කොටා පාරෙ ඉස්ටේෂන් එක හරියෙ කොහේදෝ තැනක ඉඳගෙන මයුරි එයාගේ කතාව කිව්වා, ඇඬුවා, කෑ ගැහුවා. අනේ ඔයාට මම කියන දේ තේරෙන්නේ නැහැ කියලා මට බැන්නා.
හැබැයි අන්තිමට පැයකට වඩා දිග කෝල් එකකින් පස්සෙ මැරෙන එක කල් දාගන්න පොරොන්දුව පිට එදා රෑ මයුරිව ගෙදර යවන්න පුළුවන් වුණා.
අද කොහෙහරි ඉඳගෙන මයුරි මේ ලිපිය එක කියවලා එදා තමන් කරන්න ගිය මෝඩකම මතක් කරලා තනියම හිනාවෙන බව මම දන්නවා.
එදා මයුරිට දැනිච්ච ඒ හැඟීම හෙට ඔයාට, ඔයාගේ පවුලේ කෙනෙක්ට, යාළුවෙක්ට දැනෙන්න පුළුවන්.
මොකද මටසිළිටු ගැහැනු අස්සෙ හැංගිලා ඉන්න ශක්තිවන්තිය කොයි මොහොතේ හරි තමන්ම එළියට ගන්න දවස වෙනකම් බහුතර කාන්තාවො තීරණ ගන්නේ මොළයෙන් නෙමෙයි හදවතින්.හැබැයි මොන දේ මොන විදිහට වුණත් ජීවිතේ කියන ගේම් එක අතාරින්න නම් හීනෙකින්වත් හිතන්න එපා.
ප්‍රේමය කියන කාරණාවට හරියටම නිර්වචනයක් දෙන්න බෑ. ඒත් තමා නොවන කෙනෙක් වෙනුවෙන් හදවතේ ඇතිවන කියාගන්න බැරි තරමේ දයාවක්, පහන් හැඟීමක්, ලෙංගතුකමක් එක්ක බොහෝ දේ කැපකළ හැකි නම් අන්න ඒකට ආදරේ කියන්න පුළුවන්.
ආදරේ කියන්නෙත් අනිත් සියල්ලම වගේ වෙනස් වෙන සුළු දෙයක්. හිතට එකඟව අපි කාටවත් කියන්න බැහැ ඇයි අපි එයාට ආදරේ කරේ, ඇයි අපි එයාට ආදරේ කරන එක නැවැත්තුවේ කියලා. ප්‍රේමය ඒ තරම්ම අධ්‍යාත්මිකයි. ඒක ඇතිවෙන වෙලාව නැති වෙන වෙලාව අපිවත් දන්නේ නැහැ.
ආදරේ කරන කාලේ පණ දෙන්න වගේ ළඟ ඉඳලා, මොකක්හරි හින්ද විරසක වුණ ගමන්ම මරන්න හිතෙනවා නම්, පිහියෙන් අනින්න හිතෙනවා නම්, සම්බන්ධතාවය ඇතුළේ වෙච්ච අතිශය පුද්ගලික දේවල්වල සමරු සටහන් එළියට ඇදල ආදරේ කරපු කෙනාව අපහසුතාවයට පත් කරනවානම් ඒකට කියන්න වෙන නමක් හොයාගන්න වෙනවා. මොකද පැහැදිලිවම ඒ ආදරේ නම් නෙමෙයි.
හිතට දැනෙනකම් ආදරේ කරන්න ඒ වගේම ඒ සිතුවිල්ල දවසක වෙනස් වුණොත් ඒ බැඳීමෙන් ඈත් වෙන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා.
ඒ වගේම තමන් කොච්චර ආදරේ කළත් තමන් වෙනුවෙන් අනිත් පාර්ශ්වය තුළ ප්‍රේමය හිඳිලා නම් ඒ මනුස්ස ආත්මෙට නිදහසේ යන්න කියලා, ආදරෙන් සමුදෙන්න තරම් පෞරුෂයක් හදාගන්න එක හැමෝටම කරන්න බැහැ.
යන්තම් ලෝකේ තේරෙන කාලේ වෙනකොට කොල්ලෙක්ට කෙල්ලෙක්, කෙල්ලෙක්ට කොල්ලෙක් නැත්තම් ඒක ලොකු අඩුවක් කියලා හිතාගෙන සුදුසු නුසුදුසු ගැලපෙන නොගැලපෙන කොහේහරි තැනකට ආදරේ කරන්න පටන් ගන්නේ තමන් තරම් හොඳට ප්‍රේමය ගැන දන්නා වෙන කෙනෙක් නෑ කියලා හිතාගෙන, ප්‍රේමයේ නාමයෙන් තියෙන බොහෝ සම්බන්ධකම්වල බේතකටවත් හොයාගන්න නැත්තෙත් ඔය කියන ප්‍රේමයම තමයි.
ඒ බොහොමයක් සම්බන්ධකම් හරියට සහතික නැති කසාද ජීවිත වගේ. ඒ තරම් දුරදිග ගිහින්.
ටික කාලෙකින් ප්‍රේම හීනයෙන් ඇහැරිලා වටපිට බලද්දී තමන් ඉන්නේ තමන්ට නොගැලපෙන තැනක කියලා තේරිලා එක පාර්ශවයක් සම්බන්ධය නවත්තන්න හැදුවා කියන්නේ ඉතින් එදාට ඉවරම තමයි. අනිත් බොහෝ තැන්වලදී වගේ ඔය ප්‍රේම සම්බන්ධයක් නවත්තනවා කියන තැනදීත් ලොකුම අවාසිය වෙන්නේ ස්ත්‍රී පාර්ශවයට.
පුරුෂ ලිංගයක් ප්‍රසිද්ධ වීම මාර එකක් වෙලා ස්ත්‍රී ලිංගයක් ප්‍රසිද්ධ වීම වහ කන්න ඕනේ වැඩක් කියල හිතාගෙන ඉන්න සංස්කෘතියක වැසියෝ විදිහට, ගැහැනු අවයවයක ඡායාරුපයක් වීඩියෝ එකක් එළියට එන එක කාන්තාවකට ජීවිතේට තිත තියන්න තරමේ මානසික පසුබෑමකට ලක්වෙන කාරණාවක් බවට පත්වෙලා.
ඉතින් නොගැලපෙන ප්‍රේමයක් නවත්තලා දාන තීරණය ගන්නේ කාන්තා පාර්ශවය නම්, ඔවුන්ට නිරුවත් පොටෝ, වීඩියෝ වගේ තවත් සමාජ බැරියර් දෙක තුනකින්ම පනින්න වෙලා.
මොන තරම් ආදරෙයි කිව්වත් අහස පොළොව දිවුරලා පොරොන්දු දුන්නත් තමාට දරාගත හැකි සීමාවේ නිරුවත් වෙන්න. දාල ගිය වෙලාවක ප්‍රේම සැමරුම් එළියට ආවොත් ඉවසන්න ඕනේ කියන අවධානම ගන්න ලෑස්ති නම් විතරක් ඒ අවධානම ගන්න.
කවුරු කොහොම කිව්වත් ආදරය වෛරය කියන දෙක අතරේ මහ ලොකු දුරක් නොතිබෙන්න පුළුවන්.
යාළුවෙලා ඉන්න කාලෙ පෙම්වතා හෝ පෙම්වතිය කිව්වොත් මං ඔයාට ගොඩක් ආදරෙයි කියල ඒක විශ්වාස කරන්න. හැබැයි මං ඔයාට මගේ පණටත් වැඩිය ආදරෙයි කියල කිව්වොත් ,දැනගන්න ඒක ඒ වෙලාවේ ඒ මනුස්සය හිටපු මුඩ් එක අනුව හිතට දැනුන කටට ආපු වචන විතරයි කියලා ,
මොකද මේ ලෝකේ හැමෝම වැඩියෙන්ම ආදරේ තමන්ට. ඒක තමයි පැහැදිලිම සත්‍යය.
ඒ ඇත්ත තේරුම් ගන්න බැරි කෙනෙක්ට ආදරේ කරලා මොකක්හරි හේතුවකට මිදිලා යන්න හැදුවම තර්ජනය කරනවානම්, බය කරනවානම්, බ්ලැක්මේල් කරනවානම් ඒකට විසඳුම ජීවිතෙන් පැනල යන එක නෙමෙයි.
බය නැතුව යතාර්ථයට මුහුණ දෙන්න හිත හදාගන්න.
තමන් ගැන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක කථා කරන්න. අවශ්‍ය නම් නීතිය ඉදිරියට යන්න.
මොන දේ වුණත් කාටත් පොදු ලිංගික අවයවක හෝ ක්‍රියාවක පොටෝ එකකට, වීඩියෝ එකකට ජීවිතයක් තියා එක දවසක්වත් නාස්ති කරන එක නම් මෝඩ වැඩක්.
මොකද ලෝකය ඊට එහා බොහෝ දුර ගිහින් අවසන්. ඒ නිසා එක පිටුවක් කැත වුණ පමණින් ජීවිතේ කියන පොතම විසිකරලා දාන තත්ත්වෙට කිසි කෙනෙක් පත් විය යුතු නැහැ.
කැත පිටුව කඩල ආයෙ ලස්සනට ජීවිත කතාව අලුතෙන්ම
ලියන්න පටන් ගන්න තරම් හයියට හිත හදාගන්න.
අනිශා ජයකොඩි