දෙමාපියන් දරුවන්ට ආදර්ශයක් ලබාදෙන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවා.
පවුල් ජීවිතවල මොනතරම් අවුල් වියවුල් තිබුනත් ඒවා දරුවන්ට දැනෙන්නට හැගෙන්නට මාපියන් ඉඩ තියන්නේ නැහැ.
නමුත් මාපියන් වගකීම් විරහිතව දරුවන් ගැන නොසිතා තමන්ගේ ආශාවන් පමණක් සිතා කටයුතු කලහොත් එය දරුවන්ගේ මානසිකත්වයට බලපාන ආකාරය කොයි වගේද?
මේ එවැනි අත්දැකීමක් තියෙන පුතෙක්ගේ කතාවක්.
මේ කතාවේ කතානායකයාගේ මවගේ ක්රියාකලාපය නිසා සිත්තැවුලට පත්ව ඔහු මේ කතාව ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුනා. ඒ කතාව ඔහුගේ වචනයෙන්ම පහත දැක්වෙනවා.
“මගේ වයස දැන් අව්රුදු 19යි අම්මට 42යි තාත්තාට 44යි. තාත්තා විතරයි job කරන්නෙ ඒකත් ගොඩක් දුර. සතියට එක පාරක් වගේ තමයි ගෙදර එන්නෙ. ගෙදර ඉන්නෙ මමයි අම්මයි තනියම. දැන් ගොඩ කාලයක ඉදන් අම්මා කව්රු එක්ක හරි අනියම් සම්බන්ධයක් තියෙනවා කියල මට තේරුනා.
මුලින්ම සැක හිතුනෙ අපි කෙල්ලො එක්ක යාලු උනාම වගේ අම්මත් රෑට phone එක ලග තියන් msg කරන්න ගත්ත හින්දයි මට හොරෙන් එලියට ගිහින් call ගන්න පටන් ගත්ත හින්දයි. සමහර conversations මම හොරෙන් අහගෙන ඉදලත් තියෙනවා මට බය හිතුනා ඒවා ඇහෙද්දි. කොහොම හරි මම දැන් ඉන්නෙ හොද තත්වෙක නෙවෙයි මේ අව්රුද්දෙ විභාගෙත් එක්ක මේක මට මාරම මානසික වදයක්. මට මේක තාත්තට කියන්න විදිහක් නෑ පව්ල කැඩෙයි කියන බයට. ඒත් මට නොකියා ඉන්න බෑ ඒ මනුස්සයාව අම්මා රවට්ටන විදිහ දැක්කම.
තාත්තා මටයි අම්මටයි ගොඩක් ආදරෙයි. එනකොට අනිවාරෙන් අම්මටයි මටයි ගොඩක් දේවල් අරගෙන එන්නෙ කවදාවත් අම්මට සැරෙන් කතා කරලා වත් නෑ. මට තාමත් තේරෙන්නෙ නෑ තාත්තාට පොඩ්ඩක් වත් අම්මගෙ වෙනස තේරෙන්නෙ නැති එක. මම කාලයක් ඉඩ දීලා බලන් හිටියා ඉක්මනට විසදෙනකන්. ඒත් එහෙම වෙන පාටක් නෑ. සමහර වැහි දවස් වල මම ස්කෝලෙ ඇරිලා එද්දි මඩ උන පාරෙ බයික් රෝද පාරවල් තියෙනවා ගේ ඉස්සරහම. මම දන්නවා මම නැති අතරෙ කව්රු හරි ඇවිත් තියෙනවා කියල. අම්මගෙන් මම සමහර දවස් වලට අහනවා ඒත් හරි උත්තරයක් දෙන්නෙ නෑ. මට එයාගෙ වෙනස තේරෙනවා. මට කරන්න පුලුවන් hint pass කර කර ඉන්න එක විතරයි. කෙලින්ම කියන්න බෑ. තාත්තා එන්න කලින් දවසෙ msg delete කරනවා. තාත්තා යනකන් බලන් ඉන්නෙ ආයෙ පටන් ගන්න. මම හොරෙන් සමහර msg කියවලත් තියෙනවා. ඒවා දැක්කම මට තවත් ජීවිතේ එපා වෙනවා.
මම කොහොමත් මානසික අව්ලකින් ඉන්නෙ කියල තේරෙනවා. කොටින්ම මට ස්කෝලෙ ගෑනු ලමයෙක්ට වත් දැන් මූන බලල කතා කරන්න බෑ බය හිතෙනවා. අම්මවම මතක් වෙනවා තාත්තාව රවට්ටන හැටියි. මම හිතන්නෙ ගමේ අය පවා මේවා ගැන දන්නවා. මම සෙල්ලම් කරන්න හවස ground එකට යද්දි පවා යාලුවොයි ගමේ අයියලයි මාමලයි මට හොරෙන් මම ගැන දේවල් හිනා වෙවී කතා කරනවා hint ගහනවා. සමහර විට මම හිතනවා වැඩි ඇති. ඒත් මට හිතෙන්නෙම අම්මා ගැන ගමේ අය දන්නවා කියල. සමහර විට එයාලා එක්කත් සම්බන්ධතා තියෙන්න ඇති. ඒත් එයාලා හිනා වෙලා අපේ පව්ලම විහිලුවට ගන්නවා මිසක් කව්රුත් උදව් කරන්නෙ නම් නෑ. අම්මා දැන් යාලුවෙලා ඉන්න මනුස්සයව මම දැන් ටිකක් දන්නවා. සමහර දවස් වලට එයා බයික් එකෙන් ගේ ඉස්සරහ ඇවිත් ඉන්නවා පාරට වෙලා බලාගෙන. අම්මා මාව දැක්කම අතුගානවා වගේ රඟපානවා. මම නැති වෙලාවට එලියට වෙලා හොරෙන් කතා කරනවා. අම්මගෙ චර්යාව මට තේරෙන කාලෙක ඉදන් හොද නෑ. මට පොඩි කාලෙත් මතකයි three wheel එකක hire එකක් ගියත් අම්මා driver ව කතාවට අල්ලගෙන කොහොම හරි number එක ඉල්ලගෙන ආපු වෙලේ ඉදන් call කරනවා msg කරනවා. මට ඒව ගැන තේරෙන්න ගත්තෙ මේ ලගකදි ඉදලා අම්මා ඒ වගේ කෙනෙක් කියල හිතුවෙම නෑ. මට අම්මා ගැන දුකක් නෑ. ඒත් මට දුක තාත්තා ගැන. ඒ මනුස්සයා දුර ඉදන් මහන්සි වෙලා රස්සාව කරල දුක් විදින්නෙ අම්මා අතින් රැවටෙන්න නේද කියල හිතලා. මට තාම තාත්තට මේක කියන්න ධෛර්යයක් නෑ තාත්තා මාව විශ්වාස නොකරයිද තාත්තා මොනවා හරි කර ගනියද බයේ. මට මේකට විසඳුමක් ඇත්තෙත් නැහැ.”